Wednesday, August 16, 2023

කෝපි උගුර



"හරි එහෙනම්"

එයා අන්තිමට සංවාදෙ නැවැත්තුවා. මොබයිල් එකේ තිරය දැල්වුණා තත්ත්පර ගාණකින් නිවුණා. මම පණිවිඩ කවුළුවටවත් එබෙන්නැතිව තිරයෙ දිස්වෙන මැසේජ් එක දිහා බලලා නිකං හිටියා. කාමරේ ඇඳ උඩට කෙළින්ම පේන තැඹිලි පාට අහස දිගේ ඉබේටම ඇස් පා වුණා.

ෂහ්! අර රිදී බඩු හදන මුදලාලිගෙ බිල්ඩිම නැත්තං අහස තව ටිකක් දික් වෙන්න තිබ්බා. මං ආයෙම ඇස් බිල්ඩිමෙන් එහෙට මෙහෙට කරලා අලුත් දර්ශනයකට ඉඩ හදාගත්තා. ඒ වෙද්දි අහසේ තැඹිලි පාට නෑ. මං හිතන්නෙ එහෙටත් දැන් දැන් විදුලිය විසන්ධි වෙනවද කොහෙද. ඔන්න එතකොට කුලී කාමරේ වම් පැත්තෙන් ඒ කියන්නෙ හරියටම ඉස්සරහින් තැපැල් කන්තෝරුවට දුවන අතුරු පාර දිගේ බල්ලො රංචුවක් සද්ද දාගෙන දුවගෙන යනවා පෙනුණා. උයන් තල් ගහයි උයන් පුවක් ගහයි එක්ක මට රිදී බඩු කඩේ මනුස්සයාගෙ සාප්පුව නැතිව අහස විතරක් බලන්න තිබ්බා නම් මරු කියලා හිතුණා.

හැමදාම මොකක් හරි පොඩි රණ්ඩුවකට පස්සෙ මට එන නොසන්සුන් ගතිය වෙනදාට වඩා දැනෙන්න ගත්තා. නගරාසන්න නවාතැනක් වුණත් අඟනුවරින් ඈත නිසා පාරට බැහැලා ඇවිදින්න තරම් වටපිටාවක් නැතිකම මට පුදුම අපහසුවක් ගෙනාවා. ඒකට අර්නස්ට් ප්ලේස්වල කාමරේ. අන්න කුලී කාමර. හිතුන වෙලාවක පාරට බැහැලා කලපුව වටේ රවුමක් දාලා ආවත් ඔළුවට නිදහස්. මට මොනවා හරිම කරන්න ඕන වුණා. කොටින්ම කාමරේ අස්පස් කරන එක හරි. හැමෝම කරන්නෙ හිත හදාගන්න කාමරේ අස්පස් කරන එකනේ. ඒත් අද දවසට මම තුන්පාරක්ම කාමරේ අස්කරලයි තිබුණේ.

මම පැන්ට්‍රි එකට ගිහින් කෝපි එකක් හදාගත්තා. පොතක්. ඔව්! අන්න හරි මම පොතක් කියවනවා. මම ආයෙම කාමරේ ජනේලෙ ළඟ තිබ්බ ඩිවාන් එක උඩට ඇවිත් පොතක් අතට ගත්තා. ආයාසයෙන් පළවෙනි පරිච්ඡේදය කියවලා ඉවර වෙද්දි. ඔන්න දෙවන පරිච්ඡේදයේ පළවෙනි ජේදේ අර ලොකුවට තියෙන තද කළු අකුර උඩ එයා බුම්මගෙන ඉදගෙන ඉන්නවා. මම එයාව දැක්කෙ නෑ වගේ මඟෑරලා ඉතිරි ටික කියන්න හැඳුවත් එයා හදිසියෙම නැඟිටලා ගහපු පයින් පාරට වචන ටික පෙරළිලා එහෙ මෙහෙ වුණා.

මම ලොකු හුස්මක් අරන් කෝපි උගුරක් බොන්න හැදුවම මෙන්න එයා කෝපි කෝප්පෙ උඩ ගැට්ටෙ නැටුමක් නට නටා වටේ කැරකි කැරකී ඉන්නවා. මට කේන්ති ගියා මම එයා ඉන්න තැනින්ම කෝපි ටික හැලෙන විදිහට කෝප්පෙ හරවගෙන කොපි ටික උගුරට හලාගත්තා.

ඔන්න එයා අර උගුරු ගැටේ එල්ලිලා කෑගහනවා. "මාව එළියට ගන්නවා මනුස්සයෝ. මට මෙහෙම එල්ලිලා ඉන්න බෑ." මම හිනාවෙලා ලොකු හුස්මක් එක්ක තව කෝපි උගුරක් බීලා එයාව මගේ ඇතුළේ හංග ගත්තා.

නිශාන්ත ෆර්නෑන්ඩු

පුවත්පත් සබැදිය

https://archives1.dinamina.lk/2022/11/09/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/158653/%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%92-%E0%B6%8B%E0%B6%9C%E0%B7%94%E0%B6%BB





කතන්දර අකුරු

'මා දුටු ළමා දිනය'

ඊයේ හරි පුදුම දවසක් කියල හිතුනේ ඉස්සරහා ගෙදර පොඩි එකාගේ පාන්දර ඇහුණ කෑගැහිල්ලත් එක්ක. බොඩිමයි මිස්ටර් සමරසිංහගේ ගෙදරයි අතර දුර අඩි දො‍ළහ...