Friday, November 13, 2020

වඳ ප්‍රේමවන්තයාගේ කවිය

 


විෂ කෙවුණු හීමෙන්

ඇතැම් මුවගින් නික්මෙන

වදන් සැර වැදි වැදී

බිදෙන් බිද බිඳුණි හදවත


ප්‍රේමයැයි නම් කළ

පළමු කළලය පිළිසිඳ

නෙබෝ දිනකට පසු

ගබ්සා කළැයි නොකියා

මරන්නට අණ කෙරිණ


ඉනිබ්බෙහි දැනගතිමි

පිළි නොසිදින වග

ප්‍රේමය යළි කිසිම දින


කොළතැන්නට යාම

ඒ මා කුඩා කාලයේ කිව නොහැකිය. තරමක් දැණුම් තේරුම් අවදියේ පසුවන් කාලයෙහි පටන් හැකි පමණනින් ලොකු වැඩ කිරීමේ ආශාවෙන් මා පෙළෙන්නට විණි. අම්මා ගමේ අසල්වැසි ගැමි ගැහැණුන් හා පිරිමින් සමඟ දර ගෙන ඒමට කන්දට යන දිනයන්හී ඇය සමඟ පිටුපසින් යාමේ පුරුද්දක් මට ඇතිව තිබිණි. ගොවි ගම්මානයේ බොහෝ නිවෙස්වල ඉවුම් පිහුම් සිදුවූයේ දර ලිපෙහි බැවින් කන්ද තරණය කොට දර ගෙන ඒම එකල ගම්මුන්ගේ පුරුද්දක් බවට පත්ව තිබිණ. දර ගෙන ඒම සඳහා යන විසල් ටර්පන්ටයින් ගස් ඇති කඳු වැටිය බොලොක් එක යැයි ඔවුන් නම් කර තිබුණි. කොළතැන්නේ බොලොක් එකට යන ගමනේදී වැට බැද්ද පිහිල්ල පසු කර ලී ඒදණ්ඩකින් එගොඩ විය යුතුය. අපි පෝළිමට එකා පසු පස ඇදෙන්නෙමු. කොළතැන්නේ පාසල් වත්ත දකිනවාත් සමඟම මා නළියන්නට දගලන්නෙ එහි ඇති සෙල්ලම් පිටිය නිසාවෙණි. ඒ වන විටත් එම පාසලෙහි ළමුන් ගණන 6ට හෝ හතකට සීමාවන්නට ඇත. පාසලෙන් පසු ඇරබෙන්නේ කන්ද තරණයයි. මෙතෙක් වේලා කඩා කෑ පේර වෙණුවට ඉදුණු බෙරිත් ආලංගා වැලුත් අත මායිමේ ඵල දරාගෙන සිටින කඳුවැටියෙහි ඇරඹුමයි.. ආලංගාවක් කඩා අත්දෙකින් අල්ලා දණිස් අතර හිරකොට චපස් ගා පලා ගන්නා මම එක පළුවක්ම කට අසලට ලන්කොට කන්නේ මෙලොව ඇති අවසාන ආලංගා ගෙඩිය එය මෙණි. ගෙඩි කිහිපයක් සාක්කුවට ලාගන්නේ ගෙදර ගොස් අක්කලා සමඟ සීනිද දමා දියකර බොන්නටය. බොලොක් එකෙහි මැදට යන පිරිස ගස යට ඇවිදිමින් වේලී වැටුණු දර එකතු කර මිටි බඳියි. මමද මට උසුලාගෙන යාමට හැකි තරමේ මිටියක් බැදගනිමි. ඉන් පසු බිම වාඩිව විඩාහරින පිරිස දර මිටි හිස තබාගෙන පහළට බසින්නට පටන් ගනී. මාගේ දරමිටිය පරණ තුවායක් ඔතා හදන ලද ජටාවක හිස මත තැබූ පසු අම්මා මාගේ හිස මත තබයි. මමද පිරිස හරි මැදින් අම්මාට ඉස්සරහින් පහළට බසින්නට පටන් ගනිමි. කොළ තැන්න පාසල පෙනෙන මානයේ මාගේ කකුල් නළියන්නට ගනී. ඒ නැවත එහි සෙල්ලම් පිටියට යාමට ඇති වුවමනාවයි. එය තේරුම් ගන්නා අම්මා එතැන විඩා හරින්නට දරමිටිය බිම අතහරියි. මා සෙල්ලම් කොට එන තෙක් සිටින ඇය. යළි ඇගේ දරමිටිය හිසට ගෙන මාගේ දරමිටියද ගෙන ඉණෙහි රුවාගනී. වෙහෙසව ගමන් ගන්නා මා ඉත්තෑවුන් හළාගිය කූරුත් කුරුළු පිහාටුත් අහුළමින් පහලටඈ පසුපසින් නිවෙස වෙත පා නගයි.

එක් කුස නූපන් නිවුන්නු



උඩහා මිදුලේ විසල් සයිප්‍රස් ගස් දෙක අතර සෑඳූ බංකුව මත අපි බොහෝ වේලාවන් හිඳගෙන දොඩමළුවූවෙමු. රහංගල කන්දට මුහුණලා බංකුව මත වාඩි ගන්නා අප කන්දෙහි තිබිය හැකි භයංකාර දෑ පිළිබංඳ සංවාද වල නිරන්තර යෙදෙන්නෙමු. කන්දෙහි භයානක සතුන් මන්තර කරුවන් ඇතැයි අපි එකල විශ්වාස කළ මිත්‍යාවන්‍ අතර මූලික තැනක් හිමි කතාවන් විය.බණ්ඩාර අයියාගේ වත්තෙහි ඇඹුල් පේර ගහෙන් කඩා ගත් ගෙඩි ඔඩොක්කුව පුරවාගෙන ගෙන එන ඇය මාගේ ඕනෑම කතාවකට උත්තේජනයක් සැපයූ එකම මිතුරිය විය. පාසල, ඉරිදා දහම්පාසල අමතර පංති හෝ ඕනෑම මල ඉලව්වක්ට අපි දෙදෙනාට දෙදෙනා නැතිව බැරිවිය. "එක් කුස නූපන් නිවුන්නු" ඇය අපේ සහෝදරත්වයට නමක් දුන්නාය. ජීවිතය හැල්මේ ඔහේ ගෙවා දමන්නට අපට බැරිවිය. ගිරාඹේ නැන්දාගේ සීනි බෝතලය අල්ලට හළාගන්නටත්. මාමාගේ පැණි බෝතලය අල්ලට හළාගන්නටත්, ඇය මට සහාය විය. තක්කඩි කමක් කර හසු වූ දිනක සූකිරි අයියාගෙ දඬුවම් වලට අප දෙදෙනාම යටත් විය. ඇය බොහෝ තැන් හී මා බේරා ගත්තා මෙන්ම මා හසුකොට බේරී පලා යන්නීය. ගණිත ලකුණු අඩු දිනවල අප දෙදෙනාටම ඉණි මගේ නංවා චකරය කට පාඩම් ගැනීම සූකිරි අයියාගේ දඬුවම විය. කුඩා අප දෙදෙනා වඩාත් බිය වූයේ එයටය. ඉද හිටකි අප අතරට කඩා පනින සීදේවී අක්කා අප දෙදෙනා තරහ කොට කුරිරු සතුටක් ලබන්නීය. පැය බාගයකට හෝ පැයකට පසු ඇය පරාජය වී අප දෙදෙන යළිත් මිතුරු වන්නෙමු. කාළය ගෙවී යන්නේ ජීවිතය වේගයෙන් ගෙවා දමමිණි. ළමා කාලය හුදකලා නොකළ ඇයට පරිච්චේදයක් හිමිවිය යුතුමය. අදටත් හොඳම මිතුරියව අත අතැර නොසිටින ඇයව දෑත දිගු කොට බදා වැළඳගමි. අපමණක් ප්‍රේම කරන බව පවසමි.


කඳුකරයේ සටහන්

ඒ අර්තාපල් අස්නවනු නෙළන කාලයයි

 ඒ අර්තාපල් අස්නවනු නෙළන කාලයයි.. නිවාඩු දින්වල අපේ අර්තාපල් වගාව තිබූ හේනබැද්දේ වත්තට අපි සියල්ලෝම යන්නෙමු. ඒ මනරම් පරිසරයකින් යුත් පට්ටිපොළ කඳු යායේ මැද හරියයි. අම්මාත් තාත්තාත් අක්කලා දෙදෙනාත් සමඟ කන්ද වෙත යාමට මගේ අඩුම කුඩුම සියල්ලද බෑගයට ඔබා ගෙන ගමනේ මුලට තාත්තට පසුව ගමන් අරඹමි. කෑමට විස්කෝතු පෙට්ටියක්, කතාන්දර පොත් දෙක තුනක්, කුඩා සෙල්ලම් බස් රථයත් ඒ ගමන් මල්ලේ බඩු අතර වෙයි. කුඹුරු යාය මැදින් ඇවිදින යන අපට කන්ද නැඟීම ආරම්භ කරන මුල හරියේදී ආරී මාමාගේ තවලම හමුවෙයි. ආරි මාමා පවුලේ කාගෙත් හිතවතාය. තවලම දකින විටම තාත්තාගේ පසු පස සැඟවෙන මම දිග අං සහිත ඒ විසාල ගවයන් රැළ පසුවන තෙක් සැඟවී සිටිමි. කන්ද මැද හරියේදී කළු ගල මත වාඩිවෙන මම බිස්කට් කිහිපයක් කා වතුර බී විඩාබරව එහි වැතිරෙමි. ඉන්පසු කන්ද තෙක් ගමන තාත්තාගේ කර මතිනි. තාත්තා කුඩා බෑගයේ බරත් මගේ බරත් ගෙන ආඩම්බර බැල්මකින් ඇවිද යයි. මම තාත්තාගේ ගෙල වැරෙන් බදාගෙන හිස සිඹිමි. කූරූ සහිත රැවුල් ගස් අතින් අල්ලා කිති කවමි. තාත්තා හොහ් හොහ් ගා හිනාවෙයි.

කන්දට ගිය පසු මා අට්ටාලයෙහි හිදුවා සියල්ලෝ වැඩෙහි නිරත වෙති අම්මා වත්තෙහි ඇවිද හතුකඩා දිවා ආහරය සැකසීමට සූදානම් වෙයි. දිවා ආහාරයට අට්ටාලයට එන තාත්තා "ආ යාළුවා දැං යං වැඩට" කියමින් මාද ඔසවාගෙන අර්තාපල් ගැලවීමට නැවත යයි. 


කඳුකරයේ සටහන්


මිස්ටර් ෆ්‍රොගොට්

මොන මගුලකටද මන්දා කවදාවත් යන්නෙ නැ කියලා හිතන් හිටපු මේ මිනිහව හම්බවෙන්නම මට යන්න සිද්ධවුණේ.. ජරා යක්කු ඌ වගේමයි උන්ගේ ජාතියම. සුදුවට ඇදගෙන කළු කෝට් බෑයකුත් දාගෙන අයිස් ගගහ ඉන්නවා. හැබැයි වචනයක් කතා කරන්නත් මාළු කූරියෝ දෙන්නෙක් දෙන්න ඕන. සේරමත් හරි අර කහපාට කට ඇරගෙන විරිත්තන විරිත්තිල්ල. මතක් වෙනකොටත් අප්පිරියයි. ඔය මාව වෙව්ලලා ගියා ඔහේලට කියන්න ඕන නෑනේ. තමන් අකමැතිම කෙනෙක්ව මුණු ගැහෙන්න යන්න සිද්ධ වුණාම දැනෙන හැගීම.
ෆ්‍රොගී ඔය ගෑනී ඒ ගෑනී නිසා තමයි මේ සේරම. මම රැවටුණා. රැවටුණා නෙවෙයි රවට්ට ගත්තා. පාඩුවේ ඉන්නේ නැතුව මමත් මොකට ඒ ගැනී එක්ක පැටලුණාද මන්දා. මතක් වෙනකෙටත් පුදුමයි. එදා ටිකක් පැහැදිලි දවසක්. මම ටිකක් අසනීප ගතිය මග ඇරිලා යන්න කියලා හිතාගෙන තමයි පාර්ක් එකේ තිබුණ පොකුණට ගියේ. මම හිටියේ නෙළුම් කොළයක් උඩ දිගාවෙලා. හැන්දෑවේ හිරු එළිය මගේ ඇගට වැටිලා හම ටිකක් කහ පාටට හුරුවෙලා තිබ්බේ. එක පාට පොකුණේ වතුර බුබුළු උඩට එන්න ගත්තා. උදව් අනේ උදව්. එක පාටට එයා කෑ ගහන්න ගත්තේ. ඕනම කොල්ලෙක් කරනවා වගේ මමත් ඉතින් දෙපාරක් නොහිතා ජබුං ගාලා පැන්නා පොකුණට පැනලා ගිහින් එයාගේ කොණ්ඩෙන් ඇදගෙන ඇවිත් මං වාඩි වෙලා උන්නු නෙළුම් කොලේ උඩින් තිබ්බා. බඩ හරිය ටිකක් මිරිකුවාම එයාගේ කටින් වතුර ටිකක් එළියට පැන්නා. මම හොදටම කලබල වෙලා හිටියේ. කොටින්ම පාසල් ප්‍රථමාධාර කමිටුවේ ඉද්දි කරපු විදිහට එයාට කෘතීම ස්වසනේ දෙනවද නැද්ද කියලා හිතාගන්න බැරිවුණා. කෝකටත් කියලා මම එයාගේ මූණට මූණ ළං කරා. එතකොටම තමයි එයා කොහ් කොහ් කියලා කැහැගෙන ඇස් ඇරියේ.
ෂා ලස්සන සුදු පාට ඇස්. කළු ඉංගිරියාව හරිම පැහැදිලව තිබ්බා. මං වශීවෙලා වගේ බලං හිටියේ. නිකං හින්දි ෆිල්මි එකක කොල්ලයි කෙල්ලයි මුණගැහුණාම වගේ මියුසික් එකක් ප්ලේ වෙන්න ගත්තා. අපි දෙන්නා නැටුවා හග්ගල පාර්ක් එකේ.. රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානේ අන්තිමට නෙළුම් පොකුණ හරියේ.. සින්දුවේ ලොකේෂන් මාරුවෙන සැරයක් ගානේ අපි දෙන්නා ඇදුම් කිහිපයක් මාරු කරා. එක පාරට එයා හයියෙන් හුස්ම ගන්න පටන් ගත්තා. මම හිතුවේ සින්දුවට නටලම මහන්සි නිසා කියලා. එක පාරට සීතල අතක් මගේ මූණ අල්ලනවා වගේ දැණුනා ඇස් ඇරියා. එයා මගේ ඇස් ඉස්සරහා. අනේ චුට්ටක් මගේ මූණ ළගින් අයින් වෙනවද මට අපහසුයි ඔයා ඔහොම ඉන්නකොට. එයා මුලින්ම කිවුවේ ඒ වචන ටික. මම රතු වෙලා රොස පාට වෙලා නිල් පාට වෙලා ඉන්ඩිගෝ පටට හැරෙන ගමන් එයාගෙන් අයින් වෙලා නෙළුම් කොලේ එයා ඉන්න හරියෙන් අනික් පැත්තේ හාන්සිවුණා. එයා ඒක ටිකක් සද්දෙට කියපු නිසාද මන්දා පාර්ක් එකේ ඉන්න අය. අපිදිහා හොදට හැරිලා බැලුවා.
"ඔයාගේ නම මොකක්ද එයා ආයෙම ඇහුවා"
"මගේ නම. මගේ නම මොකක්ද මට මගේ නම පවා අමතක වෙලා."
"ඔව් ඔයාගේ නම තමයි.. නම මොකක් වුණත් ගොඩක් පින් මාව බේරගත්තට" එයා මගේ අතක් හයියෙන් අල්ලගෙන කිව්වා.
"ආහ් ඒක සුළු දෙයක්.." ඔන්න මම ආයෙම අර මගේ මහන්තත්වේ ඔළුවට ගත්තා..
එයා ඇදන් හිටපු කොළ පාට ලෙගින් එක හොදටම තෙතයි. අත්දිග කොළපාට ටී ෂර්ට් එකත් ඇගටම ඇලිලා. දැං ඉතිං ඔහේලා වපර ඇහින් බලන්න ඕන නැ. මම එයා දිහා නරක හිතකින් බැලුවේ නෑ. ටිකක් සරාගී පෙනුමක් තිබ්බ තමයි මම නෑ කියන්නෑ. ඒත් එයා හිටපු තත්වෙත් එක්ක ඒ වගේ හැගීමක් ලොකුවට ඔළුවට ගන්න වුනේ නෑ.
එයා කොහොමද ගෙදර යන්නේ ඔය තෙත රෙදි එක්කම.
" යමු මගේ අපාර්ට්මන්ට් එකට එහෙට ගිහින් ඕක වේලුනාම යන්න පුළුවන්. "
මම එහෙම කියලා එයාත් එක්ක. නැගිටලා තාප්පේ පුංචි ගුලකින් රිංගලා වත්තට ආවා. ළං ගැට්ට උඩට නැගලා එයාට පනිට්ටුවට ලොඩවෙන්න මම උදව් කරා. "අනේ පරිස්සමින් ෆ්‍රොග් " එයා මට මුලින්ම ෆ්‍රොග් කිව්වේ ඒ වෙලාවේ. ආහ් මගේ අපාර්ට්මන්ට් එක තිබ්බේ ළිං පතුලේ ළිදේ බිත්ති වල හදපු පොඩි ගුල්වලත් කට්ටිය පදිංචිවෙලා හිටියා. මම එයා එක්ක අපාර්ට්මන්ට් එකේ දොරෙන් ඇතුළු වෙනවා ෆ්‍රොග්සන් මහත්තයි නෝනයි බලාගෙන හිටියේ මම දැක්කේ නෑ වගේ හිටියා. නාකි ජෝඩුව අනුන්ගේ ඕපාදූප හොයන්නම ඉපුදුන ගෙම්බෝ දෙන්නා. ඔව් ළිං මැඩියොන්ට ඉතිං මේකත් හෙට උදේට හොද නිවුස් එකක් වෙයි.
"එන්න ෆ්‍රොගී"
ඔන්න මම එයාට පළවෙනි වතාවට එයාට එහෙම කිව්වා. ඇත්තටම අපි අපි ගැන මොකුත්ම නොදැන. එහෙම කතා කරන්න පටන්ගත්ත එක ඒක ඉබේටම සිද්ධවුණ දෙයක්. ෆ්‍රොගී සේරටම කළිං කරේ එයාගේ ෆෝන් එක අරං ස්ටේටට් එකක් අප්ඩේට් කරපු එක. යූ ආර් ද ගාර්ඩියන් ඒන්ජල් ඔෆ් මයි ලයිෆ් ඊට පස්සේ හාර්ට් දෙකක් කිස් ඉමොජියක්. ෆීලිං තෑන්ක්ස් පුල් ඉන් ද වෙල්. ඔන් එහොම හැමදේම පටන් ගත්තේ. රෙදි වේලුණාම එයා ගියේ නෑ අපි දෙන්නා එකට ජිවත් වෙන්න ගත්තා. එයා උයන්වත් දැනගෙන හිටියේ නෑ. හැමදාම අපි පීසා ඔර්ඩර් කරා. කේ එෆ් සී ගියා. එයා මුණ ගැහැණට පස්සෙම මම ෆේස්බුක් ලොග් වුණෙත් නෑ. ඒක මාවර්ලස් ලවුස්ටොරියක්. බොළදයි කියලාද ඔහේලා හිතන්නේ. ඔව් ටිකක් විතර මම බොළදයි තමයි. ඒත් එහෙමයි කියලා මේ ආදරේ හෑල්ලුවෙන්න දුන්නේ නෑ. එයා මාව ගෙදරටම කෙතටු කරා. කඩේටවත් යන්න දුන්නේ නෑ. එයා කිව්වේ එයාගේ ජීවතේ බේරපු නිසා මුළු ජීවිත කාලෙම මාත් එක්ක ඉන්නවා මාව බලාගන්නවා කියලා. මම සොපාවක වැතිරිලා චිත්‍රපටි බලපු එකමයි කරේ.
මම මේ වෙද්දි. හොලිවුඩ් චිත්‍රපටි එක්දහස් එකසීයකුයි. බොලිවුඩ් චිත්‍රපටි තුන්දාහකුයි. කොලිවුඩ් චිත්‍රපටි දෙදාස් පන්සීයකුයි බලලා තිබුණා. මේ සේරම ඉවර වෙද්දි අවුරුදු හය හමාරකුත් සති දෙකක් ගෙවිලා. ඒ වෙනකොට අපේ පොඩි ෆ්‍රොගීනාට අවුරුදු හතරක්. මේ වෙද්දි මගේ බැංකු පොත්වල තිබ්බ සේරම සල්ලි ඉවර වෙලා. කන්න බොන්න පවා අමාරු කාලයක් ආවේ. එයා වචනයකින්වත් මට ඒ ගැන දෝශාරෝපණය කරපු නැති එක මට මහාලොකු දෙයක් වගේ පෙනුනේ. දවසක් එයා කිව්වා එයා මැදපෙරදිග රස්සාවකට යන්නම් කියලා. එයා මටත් හොරෙන් පාස්පොර්ට් වීසා පවා හදාගෙන ඉදලා. පවු අහිංසක ගෑනි. මං කරදරවෙනවට පොඩ්ඩක්වත් කැමති නෑ. එයා යන දවසට කලින්දා රෑ අපි අමාරුවෙන් වුණ.ත් අහල පහල අයට කෑමක් දෙන්න තීරනය කලා.
එදා ෆ්‍රොග්සන් ජෝඩුව අච්චාරු වගේකුයි සීනි සම්බල් වගේකුයි බෝතල් වලට දාලා ෆ්‍රොගීට දිලා බදාගෙන ඉම්බා. එයා බය වෙන්න එපා ෆ්‍රොගී අපි ෆ්‍රොග්වයි ෆ්‍රොගීනාවයි බලාගන්නම්. පරිස්සමට ගිහින් එන්න. ඒ දෙන්නම එහෙම කියද්දි හමට පුදුම ආදරයක් ඇතිවුණේ ෆ්‍රොගී ගැන එයා හැමෝම එක්ක හොදින් ඉදලා. වෙන එකක් තියා එයා නිසා ළිදේ හිටපු හැමෝම මට ෆ්‍රොග් කියලා කතා කරන්න පටන් අරන් තිබුණා. කොහොම හරි එයා ගියා. එදා ඉදන් පුදුම පාලුවකින් මම හිටියේ. දවසක් මම නිකමට මගේ ෆේස් බුක් අකවුන්ට් එකට ලොග්වුණා. මෙන්න එයාගෙන් මට මැසේජ් එකක්.
පීලීස් ෆ්‍රොග් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න ආයේ මට වදයක් වෙන්න එපා.
මොකක්. මේ මොන කුණුහබ්බක්ද මම එයාට රිප්ලයි කරන්න හැදුවේ ඒත් එයා මාව බ්ලොක් කරලා.
මම මගේ ෆේක් අකවුන්ට් එකට ලොග් වුණා. මෙන්න මේ ගැනී වෙන ගෙම්බෙක් එක්ක.
ෆ්‍රොග්ඩීන් ඔයා තමයි මගේ හීනේ හැබෑ කරේ. අන්තිමට අප්ඩේට් වෙච්ච පොස්ට් එකේ එහෙම තිබ්බා.
මම ටිකක් පහළට පහලට ගියා. දෙයියනේ මේ ගෑනී මාව හොදටම අන්දාලා. ඒ ගෑනි ඒ මිනිහා එක්ක අවුරුදු හය හමාරක ඉදලා සම්බන්ධයක් තිබිලා.
බස් එක දෙහිවල ගුවන් පාලම යට නැවැත්වුවා. මම 176 බස් එකක නැගලා සූ එකට ගියා. පෙන්ගුවින්ලා ඉන්නේ ටිකක් මැදට වෙන්න. එතන තමා හොදම ලෝයර්ස්ලා ඉන්නේ. මම මුලින්ම කරේ ලොයර් කාරයා ගාවට ගිහින් මාළු කූරියෝ දෙන්නා මේසේ උඩට අත ඇරපු එක. ඉක්මන්ට මගේ ඩොකියුමන්ට් එක දෙනවද. මගේ නම වෙනස් වෙලා ආවද.
ඔව් මිස්ට ෆ්‍රොග්. අර කැත කළු ලෝගුවක් පොරවන් හිටපු පෙන්ගුවින් කාරයා කිව්වම මට අසූහාරදාහට මල පැන්නා. දැන් නම වෙනස් කරා කිව්වා නේද. මම පැනලා උගේ බෙල්ලෙන් අල්ලගත්තා. කහපාට හොට මැද්දෙන් දිව එළියට පැනලා. මම ඌව බිමට අතඇරියා.
සමාවෙන්න සමාවෙන්න ඒ සෙරම අමතක කරන්න. මෙන්න ඔබතුමාගේ අලුත් නම මිස්ටර් ෆ්‍රොගොට් මහත්මයා. මිනිහා මගේ අතට ෆයිල් එක දීලා මෙසේ උඩ තිබ්බ වතුර වීදුරුව බීගෙන බීගෙන ගියා.
නිශාන්ත ෆර්නෑන්ඩූ

ලුණු

රචනාව ලියන්න පටන් ගත්ත වෙලේ ඉදන් සමදරාට වෙන් කරලා බෙදාගන්න බැරි තරමට අදහස් ගොඩක් ආවා.. ගොඩමාන්න මිස් රචනා තරගෙ ගැන කිව්ව වෙලේ ඉදන් ඒ ගැන හිතලම සමදරාට ලියාගන්න ඕන දේ මොකක්ද කියලා හිතාගන්න බැරිවුණා. මිස් කිව්වේ තමන්ගේ ජීවිතේට සමීපතම දේවල් ගැන ලියන්න කියලා. ටිකක් හිතට වදින විදිහේ මාතෘකාවක්. මිස් එහෙම කියලා කොහේදෝ රටක ළමයෙක් හිම ගැන ලියපු රචනාවක සිංහල පරිවර්තනයක් පන්තියටම ඇහෙන්න කියෙව්වා. සුදුම සුදු පාට හිම, හිම සෙල්ලම්, හිම කරත්ත පුත්තලම ඉස්කෝලේක තහඩුවහළෙක යට ඉදන් ගොඩමාන්න මිස් හරි අපූරුවට හිම ගැන කිව්වා පන්තියම නිස්සද්දව අහන් හිටියේ හිම ගැන.මේ දැන් හිම වැටෙනව වගේ මවාගෙන. මිස්ගේ අක්කා කෙනෙක් පිටරට ඉස්කෝලෙක උගන්නනවලු. මිස් කරන්නේ පන්තියේ පීරඩ් එකෙන් බාගයක්ම ඒ පුරාජේරු කියන එක. මිස් නරකමත් නෑ. මිස්ට ඕන උනේ ළමයින්ට මේ පේන පුංචි වපරිසරයට එහා ගිය ලෝකේ ගැන මේ අහිංසක දරුවන්ට කියල දෙන්න. මිස් නරකමත් නෑ. අලුතෙන් පත්වීමක් අරන් ආපු නිසාද මන්දා ළමයි එක්ක ටිකක් වැඩිපුර කුළුපගවෙලා තමයි මිස් කතා කරේ. හුගක් වුන් හිටියේ මිස්ගේ පිටරට වර්ණනා වලින් මත්වෙලා වගේ. මිස් ඒ රටට දෙතුන් පාරක් ගිහින් තියෙනවා කියලත් කියල තිබුණ නිසා පන්තියෙම උන් හිටියේ කට ඇරගෙන මිස්ගේ කතාව අහගෙන. සමදරා ඇරෙන්න අනික් හැමෝම.
සමදරා රචනාවට කරුණු එකතු කරා. මේ ගිනි කාස්ටක පුත්තම් කලපුවේ මොන හිමද? හිම නොවුනට හිම වගේ සුදුපාට ලුණූ නම් පුත්තලම් කලපුවේ මිනිස්සුන්ට ඕන තරම් සමීපව දකින්න තිබුණා. සමදරා ලුණුවලටත් වඩා ළගින් දැක්කේ දුක ප්‍රශ්න කරදර සමදරා වට ප්‍රස්ථාරයක් ඇදලා දුකයි ලුණූයි වර්ග කරලා වැඩි කෝකද කියල හොයන්න ගත්තා.මොන ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. දුක ලුණු රහ වෙලා වටේට පැතිරෙද්දි සමදරා වට ප්‍රස්ථාරේ මධ්‍ය ලක්ෂෙ මැද හිර වුණා. දුක ලුණු තරමට සුදු පාටට පැහැදිලිව තිබුණා. තාත්තා ගෙදරින් ගියායින් පස්සෙ අම්මා ලේවායේ වැඩට යන්න පටන් ගත්තා. සමදරාට මතක එදා ඉදන් ලුණු රහට දුක් විදපු හැටි. තාත්තා ගෙදරින් ගිය වෙලේ අම්මා පිළිකන්නේ පස් කණ්ඩිය උඩට වෙලා ඉකි ගගහා අඩන කොට සමදරා ගිහින් අම්මගේ මූන බදාගෙන ඉන්නකොට අම්මාගේ කදුළු ලුණු රහට සමදරාට දැණුනා. එදා ඉදන් සමදරා දුක මොන වගේද කියලා හිතන්න ගත්ත හැම වෙලේකම දුක දැූණනේ ලුණු රහට.
පොඩි කාලේ හරියට නොතේරුණත් දවසක් අම්මා අතින් මාළුපිණිලට ලුණු වැඩිවෙලා තාත්තා බත් ටිකත් එක්කම මැටි කොප්පේ පොලොවෙ ගැහුව දවසේ බයට කෑ ගහල අඩද්දි ලුණු රහ කියන්නේ දුක කියන එක සමදරාට දැණුනේ නැත්තේ ඇයි කියලා සමදරාම කල්පනා කරන්න ගත්තා. ඉස්කෝලේ ඇරිලා ඇවිත් සමදරා මල්ලිලාට කන්න දීලා ඇදුම් සේරම සෝදලා දාලා. අම්ම ලේවායෙන් අඩුවට ගේන ලුණු පැකට් ටිකත් ගෙද තියෙන පරණ කනප්පුවත් අරන් පාරට ගිහින් ලුණු ටික පිළිවෙලකට තියලා ලුණු විකුණන්න ගන්නවා.. හැන්දෑ වෙද්දි දාඩිය බේරී බේරී කනප්පුව උස්සන් ගෙදර එන ගමන් අඩන්න බැරි කමට යටිතොල හපාගද්දිත් සමදරාට තොල අගිස්සේ තිබ්බ දාඩිය බින්දු දෙක තුන දැනුනේ ලුණු රහට.
ගෙදර ගිහින් සමදරා ආයෙම කල්පනා කරලා.. මොනා ගැනද ලියන්නේ.. අර පේන මහ මුහුද හංගගෙන ඉන්න තරමටම සමදරා හංගෙන ඉන්න ලුණු රහට හුරු දුක ගැන ලියන් සමදරා තීරණය කරා. ඔව් වෙන මොනවා ලියන්නද හිතට එකගව ලියන්න පුළූවන් එකම කාරණාව ඒක. ලුණුයි දුකයි වෙන වෙනම බෙදා ගන්න බැරිතරමට සමදරා ලුණූ රහට දුක විදලා තිබ්බා. සමදරා හිතට ආපු අදහස් ටික සීරුවේ කොලේකට හැලුවේ හරි පරිස්සමට. අඩුත් නැති වැඩිත් නැති හරි පදමට අම්මා ලුණූ පොල් කට්ටෙන් කෑමට ලුණු දානවා වගේ හරි පරිස්සමට. හිම වගේ සුවුට පෙණුන ලුණුයි ජීවිතේ අදුරු පැත්තක ඉදන් පපුවට අනින දුකයි එකට එකතු කරලා සමදරා රචනාව ලිව්වා. ගොඩමාන්න මිස්ට හිතා ගන්න දෙයක් හිතාගන්න දීලා සමදරා එක හුස්මට ලියාගෙන ගියා. ලිව්වද නැත්තං ල්යවුණාද කියන එක සමදරාට ලොකු ප්‍රශ්ණයක් වුණත් ඊළග වාරේ ඉස්කෝලේ පටන් ගන්න කලින් ලියලා ඉවර කරන්න ඕන නිසා සමදරා රෑ මැදක් වෙනකල් පිටු ගාණකට දුක හැලුවා.
පහුවදා පෝයට අම්මා මල්ලිලා දෙන්නයි සමදරයි එක්ක අනුරාධපුරේ සිල් ගන්න ගියා. අම්මා හැම මාස පෝයකටම මෙහෙම ගිහින් සිල් ගන්න එක පුරුද්දක් කරගෙන තිබුණා. තාත්තා ඉද්දි නම් ගෙදර බුදු පහනවත් තියන්න බැරි තරමට ප්‍රශ්න තිබුණා. හැමදාම රණ්ඩු. හැමෝම හිටියේ ඊළග මොහොත මොන වගේ වෙයිද කියලා නිච්චි නැතිව. එක අතකට දේවල් එහෙම වුණ එක හොදයි කියලා සමදරාට නොහිතුණාමත් නෙවෙයි. ඒ කිව්වේ තාත්තා ගෙදරින් ගිය එක එක. ඒත් සමදරාට ඒක කා එක්කවත් කියාගන්න හයියක් තිබුනේ නෑ. මොකද අම්මා තාත්තව මතක් කරලා චීත්තේ අගිස්සෙන් අර ලුණු රහ කුදුළු හොරෙන්ම පිහිදන විත්තිය සමදරා දන්න නිසා.
කොහොම හරි සිල් මිදිලා හවස ගෙදර එන්න බස් එකට නැංගම තමයි සමදරාලා දැන ගත්තේ මුහුදු ගොඩගලපු විත්තිය. හතර දෙනාම ගල් ගැහිලා වගේ හිටියේ. මග දිගට ඇහුණේ වෙච්ච විනාසේ ගැන පුත්තලමට එද්දි මුහුද කිට්ටුව ගෙවල් බිත්ති පිටින් මුහුදට ගිහින් තිබුණ විදිහ දැක්කම අම්මගෙ ඇස්වලට කදුළු ඉණූවා. සමදරා ඒ දිහා බලලා හිතුවේ දුක කියන්නේ ලුණූ රහට. අර පේන්නේ නැද්ද ලේවායටම වෙලා තියන දේ. සමදරා තමන්ටම කියා ගත්තා. කොහොමත් සමදරා ගෙදර ගැන අදහස අතහැරලා හිටියේ. බස් එක නැවැත්තුවාට පස්සේ සමදරා අම්මගෙ අතින් අල්ලගෙන මල්ලිලා දෙන්නත් එක්ක ගෙදර තිබුණ දිහාවට ඇවිද්දා. ගෙදරක් කිව්වට අනුරාධපුරේ නටබුන් වගේ ගෙදරින් භාගයක් විතරයි ඉතුරුවෙලා තිබුණේ. සමදරා ඉබේටම බිම බැලුවේ කකුලේ පැටලුනේ මොකක්ද කියලා බලන්න. ඊයේ රෑ මැදියම වෙනකල් නිදිමරාගෙන ලියපු රචනාව මුහුදු වතුරට පෙගිලා තිබුණා.
ලියපු රචනාව වැරදි නෑ.. සමදරා පලවෙනි වතාවට තමන්ටම හිණෘවුනා.
පලි. කාලෙකට පස්සේ සමදරා තමන්ගේ ජීවිත කතාව පොතකට එකතු කරා. මිනිස්සු කදුළු පෙර පෙර පොත කියවලා තිබුණා. පොත අලෙවි වාර්තා බිද දමමින් විකිණුනා. මම වැරදි නෑ දුක කියන්නේ ලුණු තමයි. හොදට විකිනෙණවා. සමදරා දෙවෙනිවතාවටත් තමන්ටම හිණා වුනා
‍
නිශාන්ත ෆර්නෑන්ඩු

තිස්පස්වැනි ඇද මත සිට

ඒ වන විට උදෑසන එකොළහට පමණ වන්නට ඇත. පීඩාකාරී වෙහෙසකර බවත් බෙහෙත් සැර නිසාවෙන් ඇති වූ මත් බවත් නිසා ඔහේ ඇදමත උඩුකුරුව වැතිර ඇස්පියාගෙන සිටීම පහසුවක් ලෙස දැනෙන්නට පටන්ගෙන තිබුණි. මම ඔහේ පැය කිහිපයක් එසේ ගෙවා දමන්නට ඇත. නින්ද මා කෙරෙන් ඈත්ව විකාර සහගත මනෝමය ලෝකය මා හුදකලාව අවතැන්ව සිටින බවක් දැනුනද ඉන් මිදී පිටතට ඒමට පවා අලස කමක් සිත තුළ දළුලන්නට විය. රෝහල් බෙහෙත් සැර (අසාත්මිකතාව) අන් සියල්ලට වඩා මා ව්‍යාකූල කරන්නක් විය. පළමුවර එම ශබ්ධය ඇසෙන විට මා නින්දත් නොනින්දත් අතර අවකාශයක දෝලනය වෙමින් සිටියෙමි. කොට කළු මහත මිනිහා මම වාට්ටුවට එන විට අරාබි නිසොල්ලාස කතාවක් සිහි කල තිස්හතරවැනි ඇදෙහි රෝගියා. යළිත් වරක් දොඩන්නට පටන්ගත්තේය.

 අනේ බෑ. අම්මෝ බඩගිනියි. අනේ අයියෝ අල්ලාහ්..

හුසේන්. කෑ නොගහා ඉන්න දවල්ට කන්න තව වෙලා තියෙනවා. දගලන්නැතුව ඔහොම ඉන්න. කෝ පොඩ්ඩක් එහාට වෙන්න හරි ඔන්න මම දෙපැත්තෙන්ම කවර් කරා දගලන්න එපා වැටෙන්න පුලුවන්.

 කෙට්ටු, දිග ඇස් තියෙන, අගිස්ස ගිරා හොටයක් වගේ නහයක අකුලගෙන ඇවිදින හෙදිය කාරුණික තරවටුවක් කර නික්ම ගියාය.

 හුසේන් මට ඔහුගේ නම ඇසුනු පළමු අවස්ථාව මෙය වන්නට ඇත. නමුත් ඔහුගේ රුවත් නමත් කදිමට ගැළපෙන්නේ යැයි මම මටම කියා ගතිමි.

 හෙදිය නික්ම ගිය පසු වාට්ටුවේ තැන් තැන්වල ඇදන්වල හුන් රෝගීන් අසල්වාසී රෝගී මිතුරන් සමග සම්මුක වෙනු මම ඇස්පියාගෙන සවන් දීගෙන සිටියෙමි.

 පිස්සු මිනිහා. ඊයේ රෑ ඉදන් ඔහොමයි කෑ ගහනවා. ලොකු අමාරුවකුත් පේන්න නෑ. පුදුම කෑමක් කන්නේ.

මම තිස් පස් වැනි ඇදේ සිට ශබ්ධය ආ දුරින් 32 වැනි ඇදේ සිටි රෝගියාගේ හඩ ඇදින ගතිමි.

 පවු ගෙදරින් එන්නේ නැද්ද කොහෙද බලන්න. ඇහුවොත් හතක් ගන්න පුලුවන් කතාව ඒත් ලෙඩකට බලන්න එකෙක් නෑ.

ඒ නම් තිස්හය වැනි ඇදේ මාගේ අසල්වැසි විශාමික ගුරු රෝගියා විය යැයි හඩ ඇසුනු දුර ඉතා කෙටි බැවින් තීරණය කළෙමි.

 තක්කඩි. මම සිත ඇතුළින් ඔවුන්ට බැනවැදුණෙමි. තමන්ට තියෙන ලෙඩේවත් හරියට නොදැන වෙන උන්ගේ රෝග විනිශ්චය කරනවා. මම තව තවත් ඇස් තද කරගනිමින් බැන වැදුණෙමි.

 අපිරිසුදු වැසිකිළි. ඉදුල් පිරුණු සින්ක් සමහර ඇදන්වල යුගල රෝ්ගීන්. කතාකරන්නට තිබෙන නොයෙක් දැ අතැර ඔවුන් තිස්හතර වැනි ඇදේ හුසේන් පිළිබද අනාවැකි කියමින් තම අසනීප සුව කරගනිමින් සිටියෝය. මුං ඇත්තටම ලෙඩ්ඩු. හොදටම අසාධ්‍යයි. මම සිතින් මතුලූවෙමි. තද හිසරදයක් දැනෙන්නට වූ බැවින් මම වම් අතෙහි මහපටගිල්ල හා දබරගිල්ල ගෙන නළල දෙපැත්ත තදකරගනිමින් සිටියෙමි. මට මහත් අපහසුවක් සමග තදබල නිදිමතක් දැනෙන්නට විය.

 කන්ඩ දෙයක්. මහත්තයා පිං සිද්ධවෙයි කන්ඩ දෙයක්.

 මම සිහිනයකින් මෙන් අවදි වුනෙමි රෝහල් කොරිඩෝව දිගේ කරත්ත රෝද ශබ්ධය මැකෙමින් ඇදී යන හඩ ඇසෙන්නට විය.

 කෑම ඕන අය එන්න ප්ලේට් අරන් එන්න. රෝහල් සේවකයකු තවත් ඈතින් කෑ ගසන හඩ ඇසෙන්නට විය.

 මම හිස දෝතින් බදාගෙන තිස්හතරවැනි ඇද දෙස හිස ඔසවා බැලුවෙමි.

 අයියා අනේ මට කන්ඩ මොනවා හරි දෙන්ඩ. අයියා ඔහු ඇදෙහි දිගාවි කැ ගසන්නට විය.

 මම හිස බදාගෙන යළිත් කොට්ටයට බර විමි.

ඔහුගේ කෙදිරිලි සහගත ඉල්ලිම මට ඈතින් ඇසන්නට විය. ඔහු වරින් වර උස් පහත් හඩකින් කියවන්නට පටන් ගත්තේය.

 හුසේන්  යළිත් වරක් කෑම ඉල්ලීය. කොරිඩෝවේ කෑම බෙදන්නන් ඔහු ළඟට ආවේ නැත. හුසේන් කෑ ගැසුවේය. වෙව්ළන ගමනින් ඇදෙන් බැස්සේය. අනෙක් ඇදන් උඩ සිටි රෝගීන් දෙදෙනකු වහා බැස ඔහුට වාරු දුන්නේය. හුසේන් පියවර දහයක් ඇවිද ගොස් බිම වාඩිවිය. ඔහු එතැන දිග ඇදුනේය. මිනිසුන් කෑගසුවේය කවුරුත් පැමිණියේ නැත. වෛද්‍යවරයකු පැමිණ සාත්තු සේවකයකු කැදවීය. විනාඩි කිහිපයකින් සාත්තු සේවකයකු පැමිණ, තවත් පැමිණි සිටි දෙදෙනකු හා එක්ව ඇදට දැමීය. තවත් වෙලාවකින් වෛද්‍යවරියක් පැමිණ ඔක්සිජන් ලබාදුණි. නැවත හුසේන්ගේ ඇද වටා තිර රෙදි ඇද්දේය. තිර රෙදි නිරාවණය කළ පසු හුසේන් සුදු පැහැති කෝ්‍ශයක සැගව සිටියේය.  ඔහු ඉන් පසු කිසිම මොහොතක කෑම ඉල්ලුවේ නැත. දෑතින් මුව වසාගත් හුසේන්ගේ බිරිදගේ පා මුල දිවා ආහාරය රැගෙන ආ බදුන වැටී තිබුණි.



මම නැවතුනෙමි!

 ඛුද්දානු ඛුද්දක ශික්ෂාපද

ඔබ විසින් සපථ කරන ලද

රිසි ලෙස වෙනස් කරමින්

ප්‍රේමය පරිනිර්වාණ විය


දැන් දැන් ඇසේ යනෙන විට

හුදකලා පාළු නිවෙසින්

සජ්ජායනා කරන හඬ

අතරමැද ඉකි බිඳින හඬ


රා කළ සතක් බී බැලිමි

අමතක නොවුණු සඳ

දැඩිව සිරුරට දුක් දීමි

මරණාසන්න කවි ලීමි


ප්‍රේමිය

සංසාර කල්ප පුරාවට

රිදුම් ලද හදවත

එක් සහන් එළියකින්

සදාකාලයට නිවුනේය

මම නැවතුනෙමි!


මේ පුරයෙහි

කවි කියව කියවා

රිදුම් ලත් ඇවැත්ණි

ශෝකයද, ප්‍රීතියද ඇත්තේ

ඇතුළු හදවතෙහි බැව් පවසමි


එපමණකි

කතන්දර අකුරු

'මා දුටු ළමා දිනය'

ඊයේ හරි පුදුම දවසක් කියල හිතුනේ ඉස්සරහා ගෙදර පොඩි එකාගේ පාන්දර ඇහුණ කෑගැහිල්ලත් එක්ක. බොඩිමයි මිස්ටර් සමරසිංහගේ ගෙදරයි අතර දුර අඩි දො‍ළහ...