Saturday, July 30, 2016

රෑ

ආදරෙන් ගැබ් අරන් සදවතිය
විළිරුදාවෙන් බෙදන සද එළිය
සදරේණු හති අරින දොර පඩිය
තමයි කවියකට ඉඩ හොද හරිය

පෙරාගෙන සදරේණු ඇදි රටා
දරාගෙන සුදුපාට මල් රටා
නුරාවට ඉගිපාන තරු රටා
මල් පිපෙයි ඇට්ටේරි ගේ වටා

කදෝකිමි එළිගේන නිහඩ රෑ
මල් සුවද හුළගකින් ගේන රෑ
සද රේණු කවුලුවෙන් එබෙන රෑ
කවියකට හොදම ඉඩ තමයි රෑ

Friday, July 22, 2016

ආදරය තමයි දරුණුම රෝගය

යන්නම ඕනද ඔයාට
නොයා කොහොමද
මේ තමයි අවසානය

ඒ..ත් පුලුවන්ද
මෙහෙම අතරින්න
පුරුදු අතැගිලි
බැදුනු සුරතින්ම

කරන්නම වෙනවා ඔයාට
ඒක තමයි ළමයෝ ජීවිතය
අතහරින එක
දුක හිතෙන එක
කදුළු එන එක

ඒ..ත් මේ තමයි අවසානය
හ්ම්ම්ම්..
අවසාන හුස්ම පොද
වාතලය සිප ගත්ත
මිය ඇදුණු ප්රේමයක

මරණ පරීක්ෂණය අතරතුර

කැපූ තැන්වල
හොයාගත නොහැකිවුණු
මින් ප්රතම හදුනගෙන නොතිබු‍ණු
වෙදැදුරන් දෑස් විස්මිත වුණු
සියුම් කැපුමන් හදවතක වුණු
වචන පහරකින් පතුලටම වුණු
ප්රේමයකි හදවතට පෙර මියුණූ

ඒක තමයි ළමයෝ ජීවිතය
අතහරින එක
දුක හිතෙන එක
කදුළු එන එක
ආදරය තමයි දරුණුම රෝගය
මිනිසුන්ට පළමුවෙන්
හදවතක් මියැදෙණ

#නිශ්


Thursday, July 14, 2016

පා සටහන්

වෙරළ රැළි යට සැගව ගොස් ඇති
අපේ පා සටහන් උණත් ඇති
ඒත් තවමත් ඇවිත් සටහන් හොයන
පොඩි රැළි වෙරළ ළග ඇති

නගන දිය රැළි යටින් හැංගුන
පිය සටහනකට උරුමැති
පා දෙකක් තනියෙන්ම ඇවිදින්
තැබූ දෙපා සටහන් හුගක් ඇති

එක ළගින් තැබු දෙපා සටහන්
මිසක් වෙනමම දැක පුරුදු නැති
සයුරු රළ මා තනිව ගිය මග
බලා පුදුමෙන් බිදෙනවත් ඇති

නිශ්


Tuesday, July 12, 2016

== විජේ==

නිම්ත්ත..
අපේ ගමේ හැමෝම දන්න වයසක මනුස්සයෙක් හිටියා විජේ කියලා.. මිනිස්සුනම් කිව්වේ පිස්සු විජේ කියලා.. මට මතකයි දවසක් හවසක පංති ඇරලා එද්දි තමන්ගේ ටින් එකෙන් කාසියක් අරන් තව වයසක හිගන මනුස්සයෙකුට දුන්නා.. ඊයේ පෙරේදා හවසක ඒ සිද්ධිය මගේ හිතේ ඇදුණා

දුබුරු පැහැ අක් බමරු හිසකේ
කැරළි මත ඇගිලි දුව යන
උදෑසන කඩපිළක ඉදගෙන
සීතලට හිනාවෙන විජේ

මද්දහනේ ගිනියමට රත්වුන
කොලු කුරුට්ටන් ඇවිත් ඔච්චමට
උබට පිස්සුයි කියා කියනකොට
හිනාවී බලනවද පෙර වගේ

හිස් සැමන්ටින් එකතුකරගෙන
ගෝනියක් පුරවා කරටගෙන
හන්දියක්  ගානේ ඇවිදින
උබත් දැන් වයසයි වගේ

සැමන්ටින් කබල ඇතුළට
වැටෙනකොට කාසි එක දෙක
පත්තරෙන් ඇස් අරන් එළියට
බලන්නට හිතක් උබට නෑ වගේ

උබට අමතකත් ඇති දවසක
ටින් කබල පිරුණ අදුරු හවසක
බීඩියක් බීපන්ය කියාගෙන
බණ්ඩටත් සල්ලිදුන් හිත අගේ

මතක්වෙන ඒ අදුරු හවස ගැන
තවම තනියම හිතනවා මම
උබට පිස්සුද කියා කියනකොට
උබ උන්ට හිනාවෙනවද විජේ

#නිශ්




Monday, July 11, 2016

වළාකුලක් මටත් කිව්වෙ.....~~~

"බලා ඉදලම
බරිම තැනකදි
දරා ගන්නට
නොහැකි විටකදි
සදු හඩාගෙන
ගියා හෙමිහිට
සැමිය වූ තම
හිරු සොයා...."

බලන් හිමියණි සිදුවු විපතක්
ඇසක් මෙන් අපි රැක්ක දරුවෙක්
පුංචි කාළෙදි වගෙ නොවෙයි දැන්
නරක ඇසුරම තමයි ඔහු දැන්

ඇත්ත සදු ඔබ කියන කාරණ
මාත් හොදහැටි බැලුව ඔය ගැන
අනිත් උන් වගෙ නොවෙයි දැන් නම්
නරක් වෙල අපෙ පෘතුවි හොදටම

මන්ද හිමියනි මෙයට කාරණ
රැක්ක අපි හැම රැකය දහවල
බලා ඉන්නට බෑ තවත් මට
හද පැලී මා මියෙයි ළගදිම

ඉන්න සොදුරිය ඉවසා දරාගෙන
මොන සැපද අපි නුදුනෙ ඔහු හට
සුපිරිසිදු ඔක්සිජන් පමණද
ජලය පිරිසිදු දුන්න ඔහු හට

ඉතින් දැන් අපි කුමක් කරමුද
නැතිද තරවටු කළේ ඔහු හට

දුන්නෙ දඩුවම් ඔබට නොකියම
අකුණු සැර සහ නියං එක්කම

ඔසොන් අපෙ හෙදම සෙන්පති
දෙනව ආරක්ෂාව හොදටම
ඉද හිටල මා යවන දැඩි රැස්
පවා පෙරළයි යවන්නේ ඔහු
ඒ තරම් ආදරෙයි පෘතුවිට

රැයේ මා දුන් සදේ සිසිලස
දිවා කල ඔබ දුන්න උණුහුම
කිව්වෙ නෑ හිමියණි ඔබට මම
ඕසොන්ටත් කරළ කරදර
අමුතු විදිහේ වායු අවි ගෙන

කවුද කිව්වේ නුබට ඒ ගැන
නැහැ එවන්නේ හසුන් පත්වත්
නුඹට මෙන් මට ඉදල හිටවත්

මොනව වූවත් කොහොම බැන්නත්
ආදරෙයි මට පෘතුවි තාමත්

ඒ....ත් හිමියණි
සනසගන්නද කොම හිත මම
ඉද හිටල එන රොකට්ටුවකින්

නිශ්


Saturday, July 9, 2016

අකුරු කතාවල අතුරු කතා

හැන්දෑවේ පහයි.. තිබ්බ හදිස්සි වැඩ ටික ඉවර කරලා දාලා මැෂින් එක ෂට් කරල.. බෑග් එකත් අරන් එළියට එන්න හදද්දි මතක් උණේ ෆින්ගපිරින්ටි තිබ්බේ නෑනේ කියලා.. ආයේමත් ලැබ් එක ඇතුලට දුවලා ෆින්ගර් පි්‍රින්ට් එක තිබ්බම සොරි ට්රයි අගේන් කියපි.. මිනිස්සු ඉස්සරහා එළියට එන්න හොද නැති වචන ටික සේරම ගිලගෙන මම දුවගෙන ආවේ බස් එක මිස් වෙයි කියලා බයට.. බණ්ඩාරවෙලින් 5.20 බස් එක මිස් වුණා කියන්නේ ඉතින් සොරිම තමයි.. ගමට යන අන්තිම බස් එක.. දැන් කොළඹ ඇවිත් ගම බණ්ඩාරවෙල කිව්වට ගමට යන්නත් පැයක් දෙකක් යනවා ටවුන් එකේ ඉදං.. ඕවා කියලා නිකං නොන්ඩි වෙන්න ඕන නැති නිසා ගම බණ්ඩාරවෙල කියනවා.. අන්න ඉතින් ට්රැක් එක මාරු වුණා.. දුවගෙන යද්දි බස් එක හොල්ට් එකෙන් අද්දනන්න ඔන්න මෙන්න.. ශේප් එකේ දොරේ එල්ලුණා බස් එක අද්දනවත් එක්කම වගේ.. දැන් ඉතින් ඇතුලට රිංග ගන්න සෑහෙන්න ගේමක් දෙන්න එපැයි. මේක අන්තිම බස් එක කිව්වට සිලොන් ටකරන් බස් වලත් තියෙන පොඩිම එක. තනි දොරේ ලේලන්ඩ් එකක් අස්සේ ටින් මාලු පැක් කරා වගේ ඔෆිස් ඇරිලා යන අයයි. ක්ලාස් ඇරිලා යන අයයි. ෂොපින් ගිය අයයි. නෑගම් යන අයයි සේරම පැක් වෙලා යනවා.. දෙයියනේ කියලා කොන්දොස්තර අයියා තව අත පය දාන සේරමත් මගින් බස් එකට දාගන්නවා.. ඔෆිස් ඇරිලා ගෙදර ගියාම නිකං කුඹුරක් තනියම කොටලා ඇගට එන ගැම්ම තියෙන්නේ මේ බස් එකේ ගියාම.. දියතලාවෙ බස් එක නවත්තලා විනාඩි 10ක් විතර තියෙනවා. කට්ටිය ඉතින් බැහැලා කරලා ටිකක් හුළං එහෙද බිලා දෙවන අදියරට සෙට් වෙනවා.. ඒ අස්සේ සුදු ඇදුම් ඇද ගත්ත නංගිලා සෙට් එකක් බස් එකේ පිටිපස්සේ ඉදන්ම ඇවිත් බැස්සා.. බැහැලා ගිහින් එහා පැත්තේ කරත්තෙන් සමෝසා ග්නනවා.. බස් එකේ ඇන්ටිලා ඇස් ගෙඩි එළියට දාගෙන කන්න වගේ බලන් ඉන්නවා... ඇත්තනේ අච්චර අමාරුවෙන් පැක්වෙලා ඇවිත් පිටිපස්සේ ඉන්න උන් බස් එකෙන් බහිනකොට දැනෙන සනීපේ මෙහෙමයි කියන්න බෑනේ.. ඒත් දෙයියනේ කියලා නංගිලා ටික නම් සමෝසා ටිකත් අරන් බස් එකට නැංගා.. ආයේ ඉතිං යාපනේ දවස් 3 4ක ට්රිප් එකක් ගියා වගේ ඇති..මොනා උණත් වැදගත් කමට හැදිච්ච ළමයි ටික..


Friday, July 8, 2016

සහොදරකම

හදිසියේ ලැබුණු දුරකතන ඇමතුමකිනි..මුහුණ පොතෙන් හදුණා ගත් පුංචි මිතුරෙකුගෙනි

# හෙලෝ අයියේ
+ ඔව් මල්ලි කියපං
# අපේ ගෙවල් යට උණා අයියේ
+අප්පට සිරි උබලටත් ගං වතුරද?.. මං දැක්කා නිව්ස්වලට ඒත් උබලත්  
අහුවෙලා කියල හිතුවේ නෑ
# ඔව් අයියේ සේරම ඉවරයි.. මොකුත්ම නෑ ඇදන් ඉනන් ඇදුම විතරයි ඉතුරු  
වුණේ..
+උබ තියපන් මං උබට ගන්නම්..
# හා අයියේ..

+ඔව් මල්ලි කියපං.. උබල ගෙදර අයට කරදරයක් නෑනේද?
# නෑ අයියේ කාටවත් කරදරයක් නෑ. ඒත් හැමදේම ඉවරයි.
+මට උබව දැනෙනවා මල්ලි උබලා විතරක් නෙවේ අපේ රටේ කීදෙනෙක්ට
දේවල් නැති වුණාද උබට මගෙන් කෙරෙන්න ඕන මොනාද? උබලට කන්න  
කෑම කොහෙන්ද?
*කන්න නම් දෙනවා අයියේ ආදාර දෙනවා අපි මේ පන්සලක ඉන්නේ..
# මාත් එන්නම් උබව බලල යන්න..
* හා අයියේ.. ඒක නෙවෙයි මට පොඩි ජොබ් එකක් හොයා ගන්න බැරිද?

මට කිසිවක් සිතා ගැනීමට නොහැකි විය.. ඔහු පවසා ඇති විස්තර අනුව නම් මෙවර අ.පො.ස උ/ පෙළ විභාගයට මුහුණ දීමට සුදානමින් සිටි කෙනෙකි.

*මේ හදිස්සියේ උබ විභාගෙ ලිව්වෙත් නෑනේ..
# කොහොමද අයියේ ලියන්නේ.. පොත් එකක් වත් බේර ගන්න උනේ නෑ.. සේරම යට වුණා..
(ඔහුගේ හඩ හැඩුම් බරය.. ඇස්වලට කදුලු ඉනුවේද මටත් නොදැනීමය.)
* අනේ කොල්ලෝ. එහෙම හිතන්න එපා.. අපි මොකක් හරි කරමු.. මම උබට නොට්ස් ටික හොයලා දෙන්නම්.. අපේ නංගි කෙනෙක් එක්සැම් කරා ගිය අවුරුද්දේ.. උබේ සබ්ජෙක්ට් ටිකමයි එයත් කරේ..
කඩෙනුත් පොත් අරගමු.. මං අරන් දෙන්නම්..
# ඒත් අයියේ ඔයාට බෑනේ එහෙම කරන්න..
*බැරි මොකද බං මම කරන්නම්.. සෙනසුරාදට මම ඒ ටික අරන් එන්නමි.. උබේ යාලුවොන්ටත් ඕන නම් පොටෝ කොපි ගහල දෙනන්ම්.. උබලත් අපි වගේනේ බං.. මට උනා නම් මේ දේ ඒත් එච්චරයිනේ..
# ගොඩක් පිං අයියේ.. ඔයාගෙන් උදව්වක් ගන්න පුලුවන් කියල දන්න නිසා කොල් කරේ රස්සාවක් හොයා ගන්න.. මෙහෙම දේවල් බලාපොරොත්තු වුණේ නෑ..
*මම දන්නවා මල්ලි.. උබත් මට මගේම සහෝදරයෙක් අපි කොහාම හරි විබාගේ කර ගමු.. මම එන්නම්..
ඇවිත් කතා කරමු..
# හරි අයියේ.. මම තියන්නම් බුදු සරණයි..
*හරි කොල්ලෝ බය නැතුන් ඉදපන්.. මම එන්නම්.. අපි ආයෙම නැගිටිමු.. පරිස්සමින් ඉදපං.. බුදු සරණයි!

ඇත්තටම අඩන්නට ඕනෑය.. අපිට දැනෙනවාට වඩා ඔවුනට දේවල් අහිමි වී ඇත.. මෙවර වෙසක් පෝය වෙනුවෙන් ඔබටත් මටත් කල හැකි පින් කම් බොහෝය.. අපේ සහෝදර පවුල්වල සමාජිකයන් වෙනුවෙන් හැකි පමණින් උදව් කරමු

සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන

#නිශ්

ගිලුණු පෙම

අදුරු වූ අහස යට ගං පතුල සිබ සෙවූ
ආදරය ලැබුණිදැයි වරක් මට කියාපන්
අර පේන ඉමේ සිට කෑ ගසා හැඩූ හඩ
ඔබට තව නෑසුනිද සොදුර මට කියාපන්

පෙම් දැහැන ගිලිහුනෙන්
හැඩුවෙ නුබ විතරමද කියාපන්
දිය මතින් ඇදී යන ඔරුව මත
නුබ ඇවිත් ඉන්නවද කියාපන්

හැන්දෑවෙ සීතලට උණුහුම ගුලි වුනේ
මේ පොකුණ අසලමයි සිහියකට නගාපන්
සිහිනයෙන් හො ඇවිත් පන් පැදුර අද්දරින්
මම ඇවිත් ඉන්නවා කියාපන්

සොදුර නුබ නැති සොවින්
හඩන පැටවුන් කොහිද අසාපන්
මීදුමක් වී ඇවිත් මා වටා එතෙන්නේ
සොදුර මේ නුබමදැයි කියාපන්

නිශ්


හිරිකඩින් හිරිවැටෙන අපේ ආදරේ මතක....

කන්තෝරු කාමරේ
ජනේලය අසළ හිද
වැහි කෝඩෙ දෙස බලමි
දුම් නගින තේ කෝප්පය
මේසයේ කොණක රදවමි

කහ ඉරේ ගලා යන
ජල පහර දෙස බලමි
මහ වැස්සේ අපි ගියපු
ඒ අතීතයට යමි
නුබ මගේ අතත් ගෙන
කහ ඉරේ ඉරි මතින්
පැන ඇවිද ගිය අයුරු
සිහිකරන් සිනහ වෙමි

හිරිකඩින් සියොළගම
සීතලව අවදි වෙමි
අපෙ මතක කඩදාසි ඔරුවක
වැහි දියේ පා කරහරිමි
නිවුනු තේ කොප්පය
දෙස බලා සුසුම් ලමි

නිශ්


අමතකම මතක

මහ වැහි වැටෙන විට
යූනියන් පෙදෙසට
වැටෙන වැහි
කදුකරේ මීදුම් තරම්
සීතල නොවුනද
හිරිකඩ පවා ඉහිලුම්
නොදෙන්නේ මන්ද

අවන්හල තුළ
උණු කෝපි බදුන වුව
සීතලව
හදවතේ ගැබුරින්ම
හිරි වැටෙන්නේ
මන්ද

මතකයිද
නවම් මාවත අද්දර
රොබෝ රෝසියා මලකට
පෙම් බැදි කවි හදවත


නිශ්


නිධන් ගත පෙම

නිධන් ගත කල යුතුව ඇත හදවත
තුන් වරක් ජප කොට මුර පදය
බිලිගත් පසුව ආලය පුදකල
සැගවිය යුතුය අදුරු බිම්ගෙයක් තුළ

නුබට පමණක් හැරෙන දෙරගුලු
විවර කලයුතු වුවොත් නුබහට
තුන් වරක් ජප කරනු මැන යළි
නුබේ නාමය අගුලු ලු තැන

නිශ්



"තේකලා" ඔබ යන්න......

පුවතක් - රට පුරා විදුලි කප්පාදුවක්


හැන්දෑ වරුවල අපි අතර
කතා බහකුදු නැති කල
රූප පෙටිටය අබියස
රෑ කෑම හිස්කල
බුම්ම ගත් මුහුණින්ම
නිදියන

රෑ කලුවරට ඔච්චමට
හිනාවෙන අඩ සද පලුව
තරු එක්ක මුලු රෑම 
හිනාවෙනවද අපිට

සොදුර මේ අඩ අදුර
ඉටි පහන් එළි නටන
ඉස්සර පෙම් කතා
දිග හැරෙන මතකයක 
දෑත් පටලන් ඇවිදින

රෑ අහස බලාගෙන
ගෙපිල උඩ
ඇට්ටේරියා සුවද විද විද
උණු කෝපි තොල ගාන
ඈ නැතිවු ලෝකයක
අපි අපිට මොනතරම්
ලෙන්ගතුද

කෝ ටිකක් ළං වෙන්න
මට ඕනි කොපුල්තල
සිප ගන්න
"තේකලා" පුලුවන්ද
ආයෙමත් නොඑන්නම
දුර යන්න

#නිශ්

පුදුමයි ඇත්තටම.....

කොහොම වුනත් මහත්මයා
මේකට විසදුමක් තියෙන්නම ඕන
නැත්තන් මේ තරම් දරුණු වේදනාවක්
පුදුමයි ඇත්තටම.....
මං නොමැරී ඉන්න ඒක

සැරින් සැරේට ගැස්සෙන එක
හිනෙන් වගේ ඇවිත් යනවත් දැනෙනව
මං කලබලෙන් ඇහැරෙනව
ඒත් ඇත්තටම කවුරුවත් ලග නෑ
නැ කියන්නමත් බෑ..
ඉන්නව වගේ දැනෙනවා

ඔබට තේරුම් ගන්න පුලුවන් නේද
මං කොයිතරම් නොසන්සුන්ද කියලා....

දිනපොතෙන් පිටු කිහිපයක් කියෙව්වා
ඒවත් හරිම විකාරයි වෙලාවකට
සුරංගනා කතාවක් වගේ...
ඇත්තටම මම පොඩි එකෙක් නෙවෙයිනේ
එහෙම වෙන්න පුලුවන්ද..
ඒ දිගටි ඇස් මං දිහා බලන් ඉන්නව
ඒත් ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද
මං අහන්නේ...

මේ සේරම සිද්දවෙන්න පටන් ගත්තේ
අර මන්දාරම් වැහි කෝඩේ එක්ක
පළාතම කලුකරලා වහින්න ගන්නකොට
එයා මාව දාලා 
තනියම කුඩේ යටින් ගියාට පස්සේ...
ඔබට පුදුමත් ඇති නේද?
මේ තරම් දෙයක් වෙළත්
මම නොමැරී ඉන්න එක...

#නිශ්

=======ගලක් වුනත් ඇතුගල පිපුරුවෙ මන්ද?=======


(කුලියාපිටිය දරුවකුට පාසලක් අහිමි වෙයි ) - පුවතක්


හයක් හතරකුත් නොහදුන දරුවෙක්ට
තාම පාසලක් හමුනොවුනේ මන්ද
තාත්තෙකුත් නෑ හයියට අත දෙන්න
පාත් වුණේ මේ මොන හෙන ගෙඩියක්ද

සිහිල දෙවන පාවී එන සුළං රැළ
ගින්න අවුලුවා මේ හැමුවේ මන්ද
අකුරු නොදත් දුදනන් තව මෙහි වෙත්ද
සුළං ගෙනෙන එච් අයි වී බෝ වේද

පාත් වෙලා අව් රැස් කන මුහුණ මත
සෙමින් තබා දෙතොලින් පුත් සිඹිනවද
කදුලු උණා බිම වැටුණත් උණුවෙයිද
පුතුන් හැරුණුවිට මවුනට වෙන කවුද

දවල් වෙලා මුදුනට එන දැවෙන ඉර
තවත් බලා බිම ඔරවන්නේ මන්ද
මිනිස් සිතත් උණුවෙන්නැති දුක් කන්ද
ගලක් වුනත් ඇතුගල පිපුරුවෙ මන්ද

#නිශ්

මියඇදුණ කිරි සිහින


පුවතක් = අනියම් සැමියා කොසුමිටෙන් පහරදී දරුවා මැරූ පසු මව රහසේම සිරුර හංගයි

-------------------------------------


පියාගෙන ඇස් පස් ගොඩක් යට
පුංචි පුතු තව නිදනවත් ඇති
හීනේකින් වගේ තාම සෙල්ලම්
ප්ලේන් එක උඩ යවනවත් ඇති


පෙවූ ලේ කිරි වලට ණය බව
පොඩි උණත් හිතටත් දැනෙනවැති
මියැදුණත් මව් දෑස් අබියස
පුංචියට හෝ වෛරයක් නැති


කිරි පාට තොල් හිනා කිරිකැටි
තිබිය යුත තැන කදුළු බිදු ඇති
මව් සෙනේ ඇකයේ නිදන්නට
පිනක් නැති බව හිතන්නත් ඇති


රිදුම් දුන් හැම වරක් ගානේ
ජීවිතය නුබ යදින්නත් ඇති
සෙනෙහේ දියබිදුවකුත් නැත්තේ
නුබේ මව් ගල් පිළිමයක් වෙන්නැති


සිගිති අතැගිලි අරන් දෙතොළත
තබා සිපගත යුතුම දවසක
එපා යැයි කැ ගසාගෙන නුබ
මව්ගේ පාමුල මියෙන්නට ඇති


පියාගෙන ඇස් පස් ගොඩක් යට
පුංචි පුතු තව නිදනවත් ඇති
හීනේකින් වගේ තාම සෙල්ලම්
ප්ලේන් එක උඩ යවනවත් ඇති


#නිශ්


නිර්මාණකරණ ස්තූතිය Everard Jayamanne​ මහතාට <3


පින්තුරේ

වැහැපු වැස්සට ගගත් උතුරා
මුලු ගමම යට වෙලත් තිබුණා
මගෙ පැලත් කොට්ටම්බා ගහ යට
ආපු වතුරෙම ගිලී තිබුණා

රකින්නට මිල මුදල් නැති මුත්
මගේ පැලෙත් වස්තුවක් තිබුණා
කාටවත් යළි දෙන්න බැරි ඒ
මතක සැමරුම් දියේ ගිලුණා

ලොකු පුතා ඉපදුනු වෙලාවේ
ඇදපු ඇදුමක් නමා තිබුණා
පෙට්ටගම ඇතුලේම තව උගෙ
පින්තූර දෙක තුනක් තිබුණා

යන්න ඉස්සර බැදපු පොඩි දුව
උකස් තිව් ඉඩමකුත් තිබුණා
ඉඩමෙ විස්තර ලියපු ලියවිලි
ඒත් අර පෙටිටියක තිබුණා

මොන දෙයක් නැති උනත් දුක නෑ
එක දෙයක් මට ඉතිරි වූවා
මහත්තයා අපි බැදපු දා ගත්
පින්තුරේ මම අරන් ආවා

#නිශ්

කතන්දර අකුරු

'මා දුටු ළමා දිනය'

ඊයේ හරි පුදුම දවසක් කියල හිතුනේ ඉස්සරහා ගෙදර පොඩි එකාගේ පාන්දර ඇහුණ කෑගැහිල්ලත් එක්ක. බොඩිමයි මිස්ටර් සමරසිංහගේ ගෙදරයි අතර දුර අඩි දො‍ළහ...