Thursday, October 27, 2016
කන්ථකගේ ආදරේ
Saturday, October 15, 2016
නොමියෙන හදවත
"තව දුරටත් බලන් ඉන්න එකේ තේරුමක් නැ අවුරුදු 15ක් තිස්සේ විදවනවනේ මං දන්න ට්‍රීට්මන්ට් සෙරෙම කරලත් හරිගියේ නෑ.. අපි ඔපරේෂන් එක කරමු.. ඩොක්ටර් එහෙම කිව්වේ උසාවියක නඩු තීන්දුවක් දෙනවා වගේ.".
"ඒත් ඩොක්ටර් මේක සීරියස් කියල කිව්වේ ඩොක්ටර්ම නේද?..."
"ඔව් ඒත් ඔයා දැන් ඉන්න තත්වෙයි ඒකෙයි ලොකු වෙනසක් නෑ.."
ඩොක්ටර් කිව්වේ දැන් යන්න ගිහින් ඔපරේෂන් එකට ලෑස්තිවෙලාම එන්න කියල වගේ බලපු බැල්මකුත් එක්ක
මම එලියට එන ගමන් හිතුවෙත් ඒ ගැන.. කොහොමටත් ඩොක්ටර් චන්ද්‍රගුප්ත කියන්නේ මේ වගේ ලෙඩවලට ආසියාවෙම ඉන්න හොදම ඩොක්ටර්..
අවුරුදු ගාණන් තිස්සේ මට බෙහෙත් දීලම ඒ මනුස්සයට එපා වෙලා ඇති.. අන්තිමට ඔපරේෂන් එක කරන්න මම හිත හදා ගත්ත.. සදුදා ඔෆිස් එකට ගිහින් සති දෙදකකට හරියන්න ලීව් ඇප්රුව් කරගෙන ගෙදර ආවේ බදාදට ඔපරේෂන් එකට යන්න ඕන ඉතුරු වැඩ ටික ලෑස්ති කරගන්න.. කෙහොම හරි අන්තිමට බදාදා උදේ 10.30 මම තියටර් එක ඇතුලේ.. මගේ දැඩි ඉල්ලීම පිණිස ඩොක්ටර් චන්ද්‍රගුප්තා සිහි නැති කිරීමේ එන්නතක් දුන්නා. මට වෝටර් මාර්ක් එකක් වගේ සේරම බොදවෙලා යනවා වගේ දැනුණා..
ඒක හරිම දීප්තිමත් දවසක්.. අපි දෙන්නා හිටියේ කදුකරේ සංචාරයක එයා තාම ස්ලීපින් බෑග් එක ඇතුලේ නිදි මම උණු වතුර ටිකකින් තේ දෙකක් හදාගෙන එයා ළගට ගියා..
"කෝ නැගිටින්න දැන් හොදටම පරක්කුයි.. මම පැරෂුට් දෙක ලෑස්ති කරා.. අද කාළගුණෙත් එච්චරම නරක නෑ.. අපි අද අර උස කන්දේ ඉදන් පියාඹමු. මං එයාට කිව්වම එයා හරි කම්මැලි විදිහට බලලා මෙහෙම කිව්වා. බෑ අනේ මට බයයි.. ඔයා තනියම පියාඹන්න මම බලාගෙන ඉන්නම්.. මට පුළුවන් ඔයාගේ ලස්සන ස්නැප් ටිකක් ගන්න.. එයා හිනාවෙලා එහෙම කිව්වා."
කොහොමටත් මට උවමනාක් තිබුණේ නෑ මේ අවස්ථාව මග ඇරගන්න.. මම එයා එක්ක තව ටිකක් වෙලා ඉදලා යන්න ලෑස්ති උණා. ඒක ලොකු ප්රපාතයක්.. මට ආසාව එන්න එන්නම වැඩි නිසා කන්ද උඩට නැග්ගා.. කදු ගැට්ට කිට්ටුවදි අපි තදින් සිප ගත්තා..
"එහෙනම් ඔන්න මම යනවා හුරේ.."
මම එහෙමම පැන්නා..
කොහොමටත් මම ඒ පැනපු පිම්මෙන් පස්සේ සෑහෙන්න දුර පියෑබුවා පාවෙලා පාවෙලා ගියා.. මම හිතන්නේ අවුරුදු දෙකක් විතරම එහෙම අහසේ පා වෙන්න ඇති.. අන්තිමට ගොඩබාන්න හිතල බැලුවම පහල ලොකු නගරයක් මම ටිකක් උවමනාවෙන් බැලුවා ගොඩ බාන්න හොද තැනක්.. අන්තිමට හොද ඉඩ කඩ තියෙන අස ගොඩ නැගිල්ලක් උඩට අමාරුවෙන් ගොඩබෑවා.. ඒක ලොකු හොටලේක රූෆ්ටොප් එකක්.. මම හිමීට හිමීට පඩිපෙළවල් බහින්න ගත්තා.. පොළොවෙ පය ගහල හිටියට අවුරුදු දෙකක් අහසේ ඉදලම තාමත් පාවෙනවා වගේ.. අන්තිමට සේරම තට්ටු ටික බැහැල හොටලේ ඉස්සරහට ආවා.. එතන විවාහ උත්සවයක් විවාහ යුවළ පිටත් වෙන්න වගේ සූදානම.. ඒ නිසා ඒ අයට ඉඩ දීලා මම පැත්තකට උණා. ඒත් දෙයියනේ ඒ එයා.. ලස්සනට මනමාලියෙක්ට ඇදලා ඒ මනමාලයා එක්ක මංගල රථේකින් පිටවෙලා ගියා.. මට කිසි දෙයක් හිතාගන්න බැරිව. ගෙදරට ආවා.. එදා ඉදන් පපුවෙ පැත්තක එයා ඇමිණිලා රිදුම් දෙන්න ගත්තා.. අන්තිමට චන්ද්‍රගුප්තා ගාවට ගිහින් අවුරුදු පහලොවකට පස්සේ තමයි මේ ඔපරේෂන් එකට ආවේ..
ඔපරේෂන් එක පැය දෙකක් විතර තියෙන්න ඇති.. දැන්නම් එයා මගේ හදවතේ ඉන්න විදිහක් නෑ ඩොක්ටර් චන්ද්‍රගුප්තා කියපු හැටියට ඇමිණිලා ඉන්න එයාව හදවතෙන් අයින් කරාම ආයේ කවදාකවත් එන්න බෑ.. ඔපරේෂන් එකෙන් පස්සේ මම හිටියේ වොඩ් එකක මට එයා මගේ පපුවට තුරුල්වෙලා අඩනවා ඉකිගහනවා ඇහුණා. ඒක දුකට අඩන ඇඩිල්ලක් නෙවේ සතුටට අඩන ඇඩිල්ලක්.. ඔව් මම ඒ සද්දේ හොදටම දන්නවා.. මට ඩොක්ටර් චන්ද්‍රගුප්තා එක්ක කේනති ගියා. ඒ කියන්නේ ඔපරේෂන් එක සාර්ථක නෑ.. අන්තිමට මම ඇස් ඇරියා..
දෙයියනේ මේක කොහොමටවත් වෙන්න බැරි දෙයක්.. එයා හිටියේ ඔහුව බදාගෙන.. ඔව් ඒ අර මනමාලයා.. අවුරුදු පහළොවකට පස්සේ උණත් මට අදුරගන්න පුලුවන්.. ඔහු හිටියේ ඇද උඩ නිදාගෙන ඇස් බාගෙට පියවිලා..එයා ඔහුට ලංවෙලා.. ඒත් මට කොහොමද මගේ පපුවට තුරුල් වෙලා වගේ දැනේනනේ.. මම ආයෙම බැලුවා.. සේරටම වඩා මට පුදුමේ මම මේ සේරම දකින්නේ උඩක ඉදන්.. මම ආයෙම තියටර් එකට ගියා.. එතකොට රෝහල් සේවකයෙක් තියටර් එකේ ඇද උඩ මගේ ඇගට උඩින් මූණත් වැහෙන්න සුදු රෙද්දක් දැම්මා.. දෙයියනේ එතකොට එතකොට මම මැරිලද.. ඒත් මගේ පපුවට තුරුල්වෙලා එයා අඩන්නේ කොහොමද. සේරම තේරූම් ගන්න තවත් විනාඩි පහළොවක් ගියා.. ඔපරේෂන් එකේදි මම මැරෙන්න කලින් මගේ හදවත අරන්.. ඒත් එයාගේ හස්බන්ඩ්ට හයි කරලා.. මට මතක් උණා ඔෆිස් එකේදි කවුරු හරි කිව්වා කියලා එයාගෙ හස්බන්ඩ්ට හදවතක් ඕනවෙලා තිබුණා කියලා.. ඒත් දෙයියනේ මේක වෙන්න පුළුවන්ද.. එතකොට මගේ හදවතෙන් එයාව අයින් කරල දාන්නම බැරිද.. මගේ හදවතට නිදහසක් ඇත්තම නැද්ද.. කෑ ගහල අඩන්න ඕන උණත්.. ඒ වෙද්දි මම ආකසේ පාවෙන්න පටන් අරන් තිබුණා..
Friday, October 14, 2016
කාලයට තිබුණා අපිට ඉඩ දෙන්න
කාලයට තිබණා තව ටිකක් ඉවසන්න
මට ටිකක් ඉඩ දෙන්න
තාත්තගෙ ඔඩොක්කුවෙ
සරම් ඔරුවක බැහැල නැලවෙන්න
පන්සලේ පෙරහැරට
සෙනග අතරින් උඩට ඉස්සෙන්න
තාත්තගෙ කර උඩින් ඉදගන්න
රැවුල් ගස් මූණ මට සිපගන්න
හැන්දෑවෙ වෙලාවක
ජෝතිගේ සිංදුවක්
තාත්තගෙ කටහඩින් අහගන්න
බයිස්කෝප් කතාගැන කියවන්න
ඒ නැතත් දුක හිතෙන වෙලාවට
හිත හැදෙන්නට ටිකක් කියවන්න
ජීවිතේ ලස්සනම වරදකදි
අම්මගෙන් බේරන්න
මොකුත් කිව්වෙ නැතත්
නිහඩවම තේ එකක් හිස්වෙද්දි
අපිට පුළුවන් අපිව කියවන්න
ඉතින්...
කාලයට ඉඩ තිබුණා
අපිට තව ඉඩ දෙන්න..
නිශ්
අපිට වැරදුණු තැන
මියුණු මල් පෙති
පොතක අලවන එක
ඔබෙ විනෝදය
මියෙන බව දැන දැනත්
ඔබට මල් එවන එක
මගෙ සතුට
ඒ තමයි නිතරෝම
අපිට වැරදුණු තැන
#නිශ්
නොමියෙමි, මියෙමි..
ලපැත්තක ඇනුණු මතක තුඩකි
කවි සැතකි, කවියකින් සැත්කමකි
විටින් විට රිදුම් වළකනුපිණිස ගැණුනු
කවියක්ද වේදනා නසන ඔසුවකි
ඉදින් නොමියෙමි, මියෙමි..
Thursday, October 13, 2016
'මා දුටු ළමා දිනය'
ඊයේ හරි පුදුම දවසක් කියල හිතුනේ ඉස්සරහා ගෙදර පොඩි එකාගේ පාන්දර ඇහුණ කෑගැහිල්ලත් එක්ක. බොඩිමයි මිස්ටර් සමරසිංහගේ ගෙදරයි අතර දුර අඩි දොළහක් නැත්තන් පහළොවක් විතර.. ඔව් ඊට වඩා නම් වැඩිවෙන්න බෑ.. ඒත් ඔය ගෙදර පොඩි එකෙක් ඉන්නවා කියලා මට මතක් වුණේ සෑහෙන්න කාලෙකින්. කොහොමටත් උදේ පාන්දර ඔෆිස් ගියාම හවසට බෝඩිමට එද්දි හත විතර වෙනවා. ඒ වෙද්දි පොඩි එකා හොදට නිදි ඇති මට එහෙමත් හිතුණා.මං ඔය ගැන බෝඩිමේ මිසිස් සිල්වාට කිව්වම මිසිස් සිල්වා හයියෙන් හිණාවුණා. මම කියපු දේ වැරදියටවත් ඇහුනද කියල මම හිතුවා. කොහොමටත් ඒක එහෙම වෙන්න බෑ. වයස උණාට මිසිස් සිල්වාගේ ඇස් පෙනීම කන් ඇසීමේ කිසිම වරදක් තිබුන් නෑ.. ලෙන් එකේ වෙන සියලුම සිද්ධි ගැන මිසිස් සිල්වා හොද දැනුවත් වීමකින් හිටියේ..
"පිස්සුද ළමයෝ.. ඔය ළමයා හවසට ආවටත් පස්සේ දිශෙන්ව නයිට් ක්ලාස් එක්කන් යන්නේ.. ඒක ඉවර වෙලා එද්දි දහය පහු මං හිතන්නේ." මිසිස් සිල්වා සාල් ඉදං හයියෙං කිව්වා..
බලං ගියාම පොඩි එකා හොදයිනේ.. මම කොච්චර කළිං නිදා ගත්තත් හය හමාර පහු නැගිටිද්දි.. දිශෙන්ගේ ස්කූල් බස් එක හයට යනවා කියලා නම් මම බෝඩිමට ආපු මුල් දවස්වල දැනන් හිටියා.. පොඩි එකාට ජීවිත කාලෙම අඩුවෙන් තමයි නිදාගන්න වෙන්නේ.. මම ඉස්කොලේ පහ වසරේ ඉද්දි අට අට හමාර වෙද්දි බහොදටම නිදි.. ඉස්කෝලෙට යන්නේ බෙල් එක ගහද්දිම වගේ.. දැනුයි කියලා වෙනසක් නෑ රතු ඉරට තප්පර දෙකකට විතර කලිං ඔෆිස් එකට යන්නේ..
කොහොමින් හරි කතාව කියන්නංකෝ.. ඊයේ මිස්ටර් සමරසිංහලා පොඩි එකාව එක්කං ගියා ලෙෂර් වර්ල්ඩ් මම හිතන්නේ ලෝක ළමා දිනේ සමරන්න වෙන්න ඕන. පොඩි එකාව කාලෙකට පස්සේ දැක්කේ ඊයේ උදේ. හරි සතුටින් හිනාවෙවි නට නටා හිටියේ සතුටු නැද්ද ඉතිං කලාතුරකිං හරි නිදහසක් හම්බුවෙනවා කියන්නේ.. කොහොම හරි පොඩි එකා මට අතත් වනාගෙන ටටා බායි කියලා වාහනේ නැගලා ගියා.. ඌ එක්කම මගේ හිත ඇවිදං ගියේ අපේ ඉස්කොලේ තිබ්බ ලෝක ලමා දිනේට. ටීචර්ලා නැටුවා සිංදු කිව්වා අන්තිමට නිල් පෑනක් දුන්නා. අපි හටියේ පිට්ටනියේ පහළ අව්වේ පේළියට හිටගෙන. ගුරු මණ්ඩලේ හටියේ වේලක් උඪ ඒ හරියේ ගස් නිසා අව්වක් නෑ. සමහර ළමයි උදේ ගාගෙන ආපු මිදුණු තෙල් තලි දිය වෙලා වැක්කෙරෙන තරමට අව්ව. ප්‍රින්සිපල් සර්ගේ කතාව වෙලාවේ රේණුකා කලන්තේ හැදිලා වැටුනා.. මොනා උණත් මම නම් කැමති රැස්වීම තව ඇචදනවට.. මොකද එදා හදන් එන්න කියලා දීපු ගණන් දහයම හදන්න අමතක වෙලා හිටියේ.. අන්තිමට ගණන් පීරඩ් දෙක පටන් ගන්න කලින් රැස්වීම ඉවර උණා. ගණන් එකක් වත් හදලා නැති නිසා ගණන් සර් මාව අව්වෙම පංතිය ඉස්සරහා දණ ගැස්සුවා.. (හොද වැඩේ අව්වේ හිටගෙන හිටියට කමක් නෑ කියල හිතපු මට පැය දෙකක් වැඩිපුර දණ ගහගෙනත් ඉන්න උණාට)
ආ මල්ලි ළඝමා දිනේ සමරනවා වගේ කියලා උසස් පෙළ පංතියක අයිය කෙනෙක් කිව්ව කතාවට නං රතු කට්ට පැන්නා.. ගෙදර එන ගමන් අර දීපු පෑන සාක්කුවෙන් අරන් කඩල බෝක්කුවෙං පහලට දැම්මා.. බෝක්කුව අස්සෙං මට ඇහුනේ උදේ රැස්වීමෙදි සංගීත ටීච කියපු මල් කියන්නේ කාට කාට සිදුව.. පාට පාට ළමයි අව්වේ දණ ගහගෙන ඉන්නවා ටීච දකින්න නැතුව ඇති.. නැත්තං ඔය සිංදුව ඇහුවත් ටීචට වමනෙට එන්න තිබ්බා. හරියට මට දැං දැනෙනවා වගේ.
ටිකක් ලොකු පංති වලට යද්දි.. ළමා අයිතිවාසිකම් ගැන රචනා ලිව්වා.. ලෝකෙම තියෙන උදාහරණ සංඛ්‍යා දත්ත අරගෙන ලකුණු ගන්න ලිව්වා මිසක්. ඇත්තටම ලමයි වෙනුවෙන් කතා කරන්න වුවමනාවක් තිබ්බේ නෑ.. අඩු තරමේ ළමා දිනේ දවසේ දණ ගස්සපු එක ගැනවත් ලියන්න ඕන කියලා හැගීමක් ආවේ නැති එක ගැන මං තාම දුක් වෙනවා.
මට ඉස්කෝලේ දණ ගහන් හිටපු විදිහ මතක් වෙලා හිනා ගියා. අතේ තිබ්බ තේ එක උගුරු දෙකකින් හිස් කරලා මෙසේ උඩින් තියලා ෆොන් එක අතට ගත්තා.. ලෝක ළමා දිනේට පිළිවෙතින් පෙළ ගැසෙමු කියලා කවුද එකෙක් දාපු පින්තුරෙකට මාව එල්ලලා තිබ්බා.. නිව්ස් බෆීඩ් එකේ පහළට යද්දි අපේ පංතියේ හිටපු දුලාරි දාලා තිබ්බ පොස්ට් එක දැක්කේ.. ඇට කටු පෑදිච්ච පොඩි එකෙක් කුණු බක්කියක් අවුස්සනවා.. ඔවුන්ගේ ලෝකය වඩා යහපත් කරමු අප්පට සිරි මේ අර දවසක් අපි දුලාරි ගෙදර ගියපු වෙලාවේ ෆෝන් එකේන් ගේම් ගැහුවා කියලා මල්ලිගේ කණ මිරිකපු දුලාරිද කියලත් මං කල්පනා කරා.. සමහර විට මේක දාන්න කලිනුත් පොඩි එකාට සද්දයක් දාන්නත් ඇති.. පොඩි එකා තාම කණ අල්ලන් ඉන්නවත් ඇති මට එහෙමත් හිතුණා.
ඒ එක්කම මාත් දුලාරිලාගේ කුලකෙම කියලා හිතුනේ දවසක් බස් එකේදි වෙච්ච සිද්දියක් මතක් වෙලා. සිරියාවේ අයිලන් කුර්දි කියන පුංචි දරුවා මිය ගිය දවස්වල ඔහුගේ පින්තූර දහස් ගණනින් සමාජ ජාල හරහා ප්‍රසිද්ද වෙමින් තිබ්බා.. මමත් බස් එකේ යන ගමන් අයිලන් කුර්දි වෙනුවෙන් කෙටි සටහනක් තිබ්බා තව ෆීලීං සෑඩ් කියලා පොටෝ එකකුත් ෆේස් බුක් වොල් එකේ එල්ල ගත්තා.. හැබැයි ඒ වෙද්දි අවුරුදු දහයක විතර පොඩි එකෙක් පින්තුර වගයක් බෙදාගෙන ගිහින් ඒ ටික ආයෙම එකතු කරගෙන බස් එකෙනුත් බැහැල යනවා.. මගේ සීට් එක උඩත් පින්තුර දෙකක් තිබ්බා නේද කියලා මට මතක් වුණේ පොඩි එකා බැහැලා ගියාට පස්සේ. කමක් නෑ අයිලන්ගේ පෝස්ට් එක දාලා මම සමාජ වගකීමක් ඉෂ්ට කරානේ කියලා හිත හදාගන්න හැදුවත් පොස්ට් එකට ඒ වෙද්දි කිහප දෙනෙක්ම කැමත්ත පල කරලා තිබ්බා.. මම පොස්ට් එක ඩිලීට් කරලා ෆෝන් එක සාක්කුවට දාගත්ත.
ඉරදා දවසම බෝඩිම අස්සේ රිංගන් ඉන්න ඔන් නැති නිසා මම කාමරෙන් එළියට ආවා.. පොඩි හුළගක් එක්ක අදුරු ගතියකුත් තිබ්බා.. සමහරවිට හවස් වෙදිද වහියි. මම එහෙම හිතලා පාර පැත්තට ඇවිදන් ගියා.. හුළං පාරට ආපු කොළ කෑල්ලක් කකුලේ පැටලුණා.. නිකමට බිම බැලුවම දැක්කේ ඉරුණ චිත්රයකින් ගහගෙන ආපු කොළ කෑල්ලක් කියලා. මම මිස්ටර් සමරසිංහගේ ගේ දිහා බැලුවා. ගේට්ටුව අයිනේ තියල තිබ්බ කුණු බාල්දියේ උඩින්ම කොළ කෑලි වගයක් දැක්කේ ඒ වෙලාවේ.. මගේ කකුලේ පැටලුණ කොලෙත් අතට අරන් බැලුවම ඒ කොටසේ තිබ්බේ පිහුණුම් තටාකයක්
මම ගිහින් අර කොල කෑළී ටිකත් අරන් බෝඩිම් කාමරේට ආවා. ඇවිත් කොළ කෑලි ටික මේසේ උඩ තියලා ආයෙම චිත්රේ එකතු කරා.. ඒ වෙලාවේ තමයි මිසිස් සමසිංහගේ උදේ කෑ ගැහිල්ලටයි පොඩි එකාගේ ඇඩිල්ලටයි හේතුව හොයා ගත්තේ.. 'මා දුටු ළමා දිනය' චිත්රේ උඩින්ම තිබුණේ මාතෘකාව. චිත්රේ තිබුණේ පිහිණූම් තටාකයක බිකිණි ඇදගත්ත ගැහැණු කීප දෙනෙක්..
නිශ්
කතන්දර අකුරු
'මා දුටු ළමා දිනය'
ඊයේ හරි පුදුම දවසක් කියල හිතුනේ ඉස්සරහා ගෙදර පොඩි එකාගේ පාන්දර ඇහුණ කෑගැහිල්ලත් එක්ක. බොඩිමයි මිස්ටර් සමරසිංහගේ ගෙදරයි අතර දුර අඩි දොළහ...
-
අප්සරා කණ්ඩලම වැව ඉහැත්තෑවට උඩින් බැස යද්දි හැන්දෑවේ ඉර මඩල මං තාම අදිනවා උබෙ උවන මට මතක විදිහටම හිණාවුන වැව් බැම්මේ වැතිර අප පෙර ව...
-
. ඔබ දුන් පොරොන්දු සියල්ලස මාවන්නැයි වචනයට පෙරළුනි මා සමා දුන් පසුව ඔබ මගෙන් නික්මිණ සියල් සමුගැනීම් මැද මා ශක්තිමත් වූයෙමි ඔවු! ශක්තිමත් ම...
