Wednesday, November 23, 2016

සිසිරයේ අග්ගිස්ස ඒ කියන්නේ තවත් ඝෘතුවක ආරම්භය, වෙනදට නං මං ආසාවෙන් මග බලන දවස්, ඒත් මේ වතාවේ එහෙම නෑ මට හිතෙන්නෙම මේ සීත කාලේ තව දිග උණානම් හොදයි. මට ඕන උනේ මේ හිම කබාය පොරොවගෙන මේ විදිහට දිගටම නිද්‍රාවක තනිවෙන්න.. මං දන්නවා වසන්තය එක්කම පරණ මතකය ආයෙත් දළු දාන්න ගන්නවා.. සිසිරය එන්න කලින් එකින් එක බිදිලා ගිය බැමි... එයා කොහොම ඒ තරම් ඉක්මනට ඒ විදිහට මගේ ග්‍රහණයෙන් මිදුනද කියලත් හිතෙනව. බාගදා එයාට එහෙම කරන්න සිද්ධ වෙන්න ඇති.. ඒත් එයාට තිබුණා ඒ තරම් මට ලං නොවී ඉන්න.. ඒ තරම් සමිප බැදිමක් බිදුණම මට දරාගන්න බැරි බව එයාට උණත් තේරුම් ගිහින් තියෙන්න ඕන.. මොනව උණත් ඒ හිටපු කාලෙදි එයා එක මොහොතකවත් මාව රිද්දුවේ නෑ.. මගේ වටේ එතෙමින් දවස ගානෙම එයාගේ ග්‍රහණයට මාව නතු කරගත්තා. ඉදපු ගමන් පිටිපස්සෙන් ඇවිත් මාව වැළද ගන්න පුරුද්දක් එයාට තිබුණා..ඒ වෙළාවට ඒ උණුසුම් හැගීම විදගන්න මම නිහඩව හිටිය එක එයාට දරාගන්න බැරිවෙන්න ඇති.. එත් මං ගැණු හිතක් තේරුම් ගන්න බැරි නරුමයෙක් නෙවේ නේ.. එයා උණත් දන්නවා මං හරි දුර්වල හිතක් තියෙන කෙනෙක් කියලා.. අනිත් අයගේ බර උහුලන එක ගැන නම් එයා හැමදාම නොක්කාඩු කිව්වා..  ඔව් හෙවනක් හොයාගෙන එන අය එක්ක ඕනවට වඩා ළෙන්ගතුවෙන පුරුද්දක් මට තිබුණා කියල මම පිළිගන්න ඕන.. ඒක ලොකු දුර්වල කමක්..ඒත් එයා දන්නවා මං කෙලින් තීරණ ගන්නෙ කියලා.. අපි ඒ ගැන වාද කරල ඇති ඕන තරම් එයා කියන්නේ ළගටම වෙලා වැළදගෙන ඉන්න එයාට වඩා අරම එන අයට මම ළං වෙනවා කියල. එයාගේ ලෝකේ මම විතරක් වෙලා එයා මගේ වටේ එතෙනව මම එහෙම ගල්වෙලා පොළොවට මුල් ඇදලා අර අහසෙ වළාකුළුවලට ඉහළින් පියාඹන්න තියෙන ආසාව හංගගෙන නිහඩ හැගීම් සමුදායක් එක්ක සටන් වදිනවා..

ඒත් මගේ හීන වලට දුර මට එයාගේ ඒ කරදරකාර ලෙන්ගතු කම දැනෙන්න ගත්තේ ඒ පුංචිම පුංචි මල් පොහොට්ටුවලින් එළියට ඔලුව දාලා බලපු දවස්වල ඒ මල් මගේ මුලු සිරුරම වසාගෙන සීරුවට පිපෙන්න ගත්තා.. මම දන්නව එදා ඉදන් සමනළ්ලු උනත් එන්න ඇත්තේ මට තියෙන ආදරේකට නෙවෙයි කියල.. ඒ උනත් පියාඹන්න තියා මුල් ඇදපු තැනින් හෙළවෙන්නවත් බැරිව ඉන්න මට මේ පියාසරණ පුංචි මල් පෙති මං වටේ කැරකෙන්න ගන්න එක. මගේ පුරුද්දක් තිබුණා මට නැති දෙයක් වෙන කෙනෙක්ට  හරි ලැබිලා නම් ඒ දෙෙ බලලා සතුටු වෙන එක.. එයෙ ඒ දවස්වල නිතරම වගේ ගැටටුම් ඇතිකරගත්තේ මේ හැගීම ගැන කියලා.. ඒත් මේ සීතග තනිකම දරාගන්න බැරි කාලෙක රණ්ඩුවෙන්න හරි එයාට ඉන්න තිබ්බා.. හිම ඇරුණු කොට මේ ස‍ීතල තනියම විදගන්න වෙච්ච එක එක අතකින් යථාර්තය කියවීමකට ජීවිතාවබෝධයකට හොද අවස්තාවක් කියන එක මේ වෙද්දි මං තේරූම් අරන් හිටියේ.. දුෂ්කර කාලවලදි තනිවෙන්න වෙනවා.. අඩුම තරමේ අල්ලපු මායිමේ හිටපු දේවදාර ගහටවකත් මං වෙනුවෙන් කතාකරන්න පුලුවන් කමක් නෑ කියන එක මම තේරුම් ගත්තා.. මට වගේම ඒ අයටත් දුෂ්කර කාලවලට මුහුණ දෙන්න වෙලා තිබුණා.. මේ සීත කාලෙන් පස්සේ උණත් මම තනියම ඉන්නවා කියන දැඩි අධිෂ්ඨානෙක මම හිටියේ.. තේරුමක් නැති බැදීම්වල වෙහෙසකර අවසානයට මම කොහොමත් අකමැතියි.. පොලොව උනත් ගහක් අල්ලන් ඉන්නේ මුල් ශක්තිමත් කාලෙ විතරයි.. ඒ නිසා අඩු සමාජ ආශුයක් එක්ක ඊලග වසන්තය පුරාම හුදකලාවෙන්න මම හිතා ගත්තා

ඒ හුළග කියන්නේ මේ සිසිරයත් ඉවරයි කියල.. හිම උණත් දියව වෙවී වැක්කෙන්න ගත්තා. හරිම ඉක්මනට උණුවෙන හිත්.. පව්.. මං මටම කියාගත්තා. ඔය එක්කම ආයෙමත් මගේ කකුලකට කවුරු හරි තට්ටුකරනවා වගේ දැනුණ නිසා නිකමට පහල බැලුවා.. ආයෙමත් පුංචිරෝස වැලක් මාව බදාගන්න දෑත් වදාහාගෙන හිටියා.. ලේන් ජෝඩුවක් ඒ වෙද්දි අත්තක කූඩුවක් හදලා තිබ්බා.. තවත් අතු කිහිපයක් කුරුලු පවුල් දෙක තුනක් කුලියට ඉල්ලගෙන ආවා.. අර මගේ දුර්වල හිත ආයෙම ඒ අයට ඉඩ දෙන්න කිව්වා.. මං නිහඩව ආයමත් අර පුරුදු නිරාමිස සතුට වෙනුවෙන් නිහඩ උණා..

#නිශ්

1 comment:

  1. ලියවිල්ල බොහොම රසවත්. ජය වේවා!!!

    ReplyDelete

කතන්දර අකුරු

'මා දුටු ළමා දිනය'

ඊයේ හරි පුදුම දවසක් කියල හිතුනේ ඉස්සරහා ගෙදර පොඩි එකාගේ පාන්දර ඇහුණ කෑගැහිල්ලත් එක්ක. බොඩිමයි මිස්ටර් සමරසිංහගේ ගෙදරයි අතර දුර අඩි දො‍ළහ...