Saturday, October 15, 2016

නොමියෙන හදවත

දැන් ඉතිං හිතේ ගැස්මෙන් ඉදල බෑ කොහොමටත් මේ වේදනාව ඉවසගන්නම වෙනවා.. ඔපරේෂන් එකට කලින් හිරිවට්ටන නිසා ලොකුවට දැනෙන එකක් නෑ..ඒ වගේද මේ වේදනාව.. අවුරුදුම 15ක්.. තවදුරටත් මේ විදිහට ඉදල කසාදයක් කරගන්න බැරි වෙනවා.. හොදම වැඩේ මේ ඔපරේෂන් එක කරන එක.. ඩොක්ටර් චන්ද්‍රගුප්තත් කිව්වේ දැන්වත් මේ ඔපරේෂන් එක කරල ඉවරකරමු කියල... ඒ ගිය සතියේ ඩොක්ටර්ව චැනල් කරපු වෙලේ.

"තව දුරටත් බලන් ඉන්න එකේ තේරුමක් නැ අවුරුදු 15ක් තිස්සේ විදවනවනේ මං දන්න ට්‍රීට්මන්ට් සෙරෙම කරලත් හරිගියේ නෑ.. අපි ඔපරේෂන් එක කරමු.. ඩොක්ටර් එහෙම කිව්වේ උසාවියක නඩු තීන්දුවක් දෙනවා වගේ.".

"ඒත් ඩොක්ටර් මේක සීරියස් කියල කිව්වේ ඩොක්ටර්ම නේද?..."

"ඔව් ඒත් ඔයා දැන් ඉන්න තත්වෙයි ඒකෙයි ලොකු වෙනසක් නෑ.."
ඩොක්ටර් කිව්වේ දැන් යන්න ගිහින් ඔපරේෂන් එකට ලෑස්තිවෙලාම එන්න කියල වගේ බලපු බැල්මකුත් එක්ක

මම එලියට එන ගමන් හිතුවෙත් ඒ ගැන.. කොහොමටත් ඩොක්ටර් චන්ද්‍රගුප්ත කියන්නේ මේ වගේ ලෙඩවලට ආසියාවෙම ඉන්න හොදම ඩොක්ටර්..
අවුරුදු ගාණන් තිස්සේ මට බෙහෙත් දීලම ඒ මනුස්සයට එපා වෙලා ඇති.. අන්තිමට ඔපරේෂන් එක කරන්න මම හිත හදා ගත්ත.. සදුදා ඔෆිස් එකට ගිහින් සති දෙදකකට හරියන්න ලීව් ඇප්රුව් කරගෙන ගෙදර ආවේ බදාදට ඔපරේෂන් එකට යන්න ඕන ඉතුරු වැඩ ටික ලෑස්ති කරගන්න.. කෙහොම හරි අන්තිමට බදාදා උදේ 10.30 මම තියටර් එක ඇතුලේ.. මගේ දැඩි ඉල්ලීම පිණිස ඩොක්ටර් චන්ද්‍රගුප්තා සිහි නැති කිරීමේ එන්නතක් දුන්නා. මට වෝටර් මාර්ක් එකක් වගේ සේරම බොදවෙලා යනවා වගේ දැනුණා..

ඒක හරිම දීප්තිමත් දවසක්.. අපි දෙන්නා හිටියේ කදුකරේ සංචාරයක එයා තාම ස්ලීපින් බෑග් එක ඇතුලේ නිදි මම උණු වතුර ටිකකින් තේ දෙකක් හදාගෙන එයා ළගට ගියා..

"කෝ නැගිටින්න දැන් හොදටම පරක්කුයි.. මම පැරෂුට් දෙක ලෑස්ති කරා.. අද කාළගුණෙත් එච්චරම නරක නෑ.. අපි අද අර උස කන්දේ ඉදන් පියාඹමු. මං එයාට කිව්වම එයා හරි කම්මැලි විදිහට බලලා මෙහෙම කිව්වා. බෑ අනේ මට බයයි.. ඔයා තනියම පියාඹන්න මම බලාගෙන ඉන්නම්.. මට පුළුවන් ඔයාගේ ලස්සන ස්නැප් ටිකක් ගන්න.. එයා හිනාවෙලා එහෙම කිව්වා."

කොහොමටත් මට උවමනාක් තිබුණේ නෑ මේ අවස්ථාව මග ඇරගන්න.. මම එයා එක්ක තව ටිකක් වෙලා ඉදලා යන්න ලෑස්ති උණා. ඒක ලොකු ප්‍රපාතයක්.. මට ආසාව එන්න එන්නම වැඩි නිසා කන්ද උඩට නැග්ගා.. කදු ගැට්ට කිට්ටුවදි අපි තදින් සිප ගත්තා..
"එහෙනම් ඔන්න මම යනවා හුරේ.."
මම එහෙමම පැන්නා..

කොහොමටත් මම ඒ පැනපු පිම්මෙන් පස්සේ සෑහෙන්න දුර පියෑබුවා පාවෙලා පාවෙලා ගියා.. මම හිතන්නේ අවුරුදු දෙකක් විතරම එහෙම අහසේ පා වෙන්න ඇති.. අන්තිමට ගොඩබාන්න හිතල බැලුවම පහල ලොකු නගරයක් මම ටිකක් උවමනාවෙන් බැලුවා ගොඩ බාන්න හොද තැනක්.. අන්තිමට හොද ඉඩ කඩ තියෙන අස ගොඩ නැගිල්ලක් උඩට අමාරුවෙන් ගොඩබෑවා.. ඒක ලොකු හොටලේක රූෆ්ටොප් එකක්.. මම හිමීට හිමීට පඩිපෙළවල් බහින්න ගත්තා.. පොළොවෙ පය ගහල හිටියට අවුරුදු දෙකක් අහසේ ඉදලම තාමත් පාවෙනවා වගේ.. අන්තිමට සේරම තට්ටු ටික බැහැල හොටලේ ඉස්සරහට ආවා.. එතන විවාහ උත්සවයක් විවාහ යුවළ පිටත් වෙන්න වගේ සූදානම.. ඒ නිසා ඒ අයට ඉඩ දීලා මම පැත්තකට උණා. ඒත් දෙයියනේ ඒ එයා.. ලස්සනට මනමාලියෙක්ට ඇදලා ඒ මනමාලයා එක්ක මංගල රථේකින් පිටවෙලා ගියා.. මට කිසි දෙයක් හිතාගන්න බැරිව. ගෙදරට ආවා.. එදා ඉදන් පපුවෙ පැත්තක එයා ඇමිණිලා රිදුම් දෙන්න ගත්තා.. අන්තිමට චන්ද්‍රගුප්තා ගාවට ගිහින් අවුරුදු පහලොවකට පස්සේ තමයි මේ ඔපරේෂන් එකට ආවේ..

ඔපරේෂන් එක පැය දෙකක් විතර තියෙන්න ඇති.. දැන්නම් එයා මගේ හදවතේ ඉන්න විදිහක් නෑ ඩොක්ටර් චන්ද්‍රගුප්තා කියපු හැටියට ඇමිණිලා ඉන්න එයාව හදවතෙන් අයින් කරාම ආයේ කවදාකවත් එන්න බෑ.. ඔපරේෂන් එකෙන් පස්සේ මම හිටියේ වොඩ් එකක මට එයා මගේ පපුවට තුරුල්වෙලා අඩනවා ඉකිගහනවා ඇහුණා. ඒක දුකට අඩන ඇඩිල්ලක් නෙවේ සතුටට අඩන ඇඩිල්ලක්.. ඔව් මම ඒ සද්දේ හොදටම දන්නවා.. මට ඩොක්ටර් චන්ද්‍රගුප්තා එක්ක කේනති ගියා. ඒ කියන්නේ ඔපරේෂන් එක සාර්ථක නෑ.. අන්තිමට මම ඇස් ඇරියා..

දෙයියනේ මේක කොහොමටවත් වෙන්න බැරි දෙයක්.. එයා හිටියේ ඔහුව බදාගෙන.. ඔව් ඒ අර මනමාලයා.. අවුරුදු පහළොවකට පස්සේ උණත් මට අදුරගන්න පුලුවන්.. ඔහු හිටියේ ඇද උඩ නිදාගෙන ඇස් බාගෙට පියවිලා..එයා ඔහුට ලංවෙලා.. ඒත් මට කොහොමද මගේ පපුවට තුරුල් වෙලා වගේ දැනේනනේ.. මම ආයෙම බැලුවා.. සේරටම වඩා මට පුදුමේ මම මේ සේරම දකින්නේ උඩක ඉදන්.. මම ආයෙම තියටර් එකට ගියා.. එතකොට රෝහල් සේවකයෙක් තියටර් එකේ ඇද උඩ මගේ ඇගට උඩින් මූණත් වැහෙන්න සුදු රෙද්දක් දැම්මා.. දෙයියනේ එතකොට එතකොට මම මැරිලද.. ඒත් මගේ පපුවට තුරුල්වෙලා එයා අඩන්නේ කොහොමද. සේරම තේරූම් ගන්න තවත් විනාඩි පහළොවක් ගියා.. ඔපරේෂන් එකේදි මම මැරෙන්න කලින් මගේ හදවත අරන්.. ඒත් එයාගේ හස්බන්ඩ්ට හයි කරලා.. මට මතක් උණා ඔෆිස් එකේදි කවුරු හරි කිව්වා කියලා එයාගෙ හස්බන්ඩ්ට හදවතක් ඕනවෙලා තිබුණා කියලා.. ඒත් දෙයියනේ මේක වෙන්න පුළුවන්ද.. එතකොට මගේ හදවතෙන් එයාව අයින් කරල දාන්නම බැරිද.. මගේ හදවතට නිදහසක් ඇත්තම නැද්ද.. කෑ ගහල අඩන්න ඕන උණත්.. ඒ වෙද්දි මම ආකසේ පාවෙන්න පටන් අරන් තිබුණා..


No comments:

Post a Comment

කතන්දර අකුරු

'මා දුටු ළමා දිනය'

ඊයේ හරි පුදුම දවසක් කියල හිතුනේ ඉස්සරහා ගෙදර පොඩි එකාගේ පාන්දර ඇහුණ කෑගැහිල්ලත් එක්ක. බොඩිමයි මිස්ටර් සමරසිංහගේ ගෙදරයි අතර දුර අඩි දො‍ළහ...