Friday, November 13, 2020

තිස්පස්වැනි ඇද මත සිට

ඒ වන විට උදෑසන එකොළහට පමණ වන්නට ඇත. පීඩාකාරී වෙහෙසකර බවත් බෙහෙත් සැර නිසාවෙන් ඇති වූ මත් බවත් නිසා ඔහේ ඇදමත උඩුකුරුව වැතිර ඇස්පියාගෙන සිටීම පහසුවක් ලෙස දැනෙන්නට පටන්ගෙන තිබුණි. මම ඔහේ පැය කිහිපයක් එසේ ගෙවා දමන්නට ඇත. නින්ද මා කෙරෙන් ඈත්ව විකාර සහගත මනෝමය ලෝකය මා හුදකලාව අවතැන්ව සිටින බවක් දැනුනද ඉන් මිදී පිටතට ඒමට පවා අලස කමක් සිත තුළ දළුලන්නට විය. රෝහල් බෙහෙත් සැර (අසාත්මිකතාව) අන් සියල්ලට වඩා මා ව්‍යාකූල කරන්නක් විය. පළමුවර එම ශබ්ධය ඇසෙන විට මා නින්දත් නොනින්දත් අතර අවකාශයක දෝලනය වෙමින් සිටියෙමි. කොට කළු මහත මිනිහා මම වාට්ටුවට එන විට අරාබි නිසොල්ලාස කතාවක් සිහි කල තිස්හතරවැනි ඇදෙහි රෝගියා. යළිත් වරක් දොඩන්නට පටන්ගත්තේය.

 අනේ බෑ. අම්මෝ බඩගිනියි. අනේ අයියෝ අල්ලාහ්..

හුසේන්. කෑ නොගහා ඉන්න දවල්ට කන්න තව වෙලා තියෙනවා. දගලන්නැතුව ඔහොම ඉන්න. කෝ පොඩ්ඩක් එහාට වෙන්න හරි ඔන්න මම දෙපැත්තෙන්ම කවර් කරා දගලන්න එපා වැටෙන්න පුලුවන්.

 කෙට්ටු, දිග ඇස් තියෙන, අගිස්ස ගිරා හොටයක් වගේ නහයක අකුලගෙන ඇවිදින හෙදිය කාරුණික තරවටුවක් කර නික්ම ගියාය.

 හුසේන් මට ඔහුගේ නම ඇසුනු පළමු අවස්ථාව මෙය වන්නට ඇත. නමුත් ඔහුගේ රුවත් නමත් කදිමට ගැළපෙන්නේ යැයි මම මටම කියා ගතිමි.

 හෙදිය නික්ම ගිය පසු වාට්ටුවේ තැන් තැන්වල ඇදන්වල හුන් රෝගීන් අසල්වාසී රෝගී මිතුරන් සමග සම්මුක වෙනු මම ඇස්පියාගෙන සවන් දීගෙන සිටියෙමි.

 පිස්සු මිනිහා. ඊයේ රෑ ඉදන් ඔහොමයි කෑ ගහනවා. ලොකු අමාරුවකුත් පේන්න නෑ. පුදුම කෑමක් කන්නේ.

මම තිස් පස් වැනි ඇදේ සිට ශබ්ධය ආ දුරින් 32 වැනි ඇදේ සිටි රෝගියාගේ හඩ ඇදින ගතිමි.

 පවු ගෙදරින් එන්නේ නැද්ද කොහෙද බලන්න. ඇහුවොත් හතක් ගන්න පුලුවන් කතාව ඒත් ලෙඩකට බලන්න එකෙක් නෑ.

ඒ නම් තිස්හය වැනි ඇදේ මාගේ අසල්වැසි විශාමික ගුරු රෝගියා විය යැයි හඩ ඇසුනු දුර ඉතා කෙටි බැවින් තීරණය කළෙමි.

 තක්කඩි. මම සිත ඇතුළින් ඔවුන්ට බැනවැදුණෙමි. තමන්ට තියෙන ලෙඩේවත් හරියට නොදැන වෙන උන්ගේ රෝග විනිශ්චය කරනවා. මම තව තවත් ඇස් තද කරගනිමින් බැන වැදුණෙමි.

 අපිරිසුදු වැසිකිළි. ඉදුල් පිරුණු සින්ක් සමහර ඇදන්වල යුගල රෝ්ගීන්. කතාකරන්නට තිබෙන නොයෙක් දැ අතැර ඔවුන් තිස්හතර වැනි ඇදේ හුසේන් පිළිබද අනාවැකි කියමින් තම අසනීප සුව කරගනිමින් සිටියෝය. මුං ඇත්තටම ලෙඩ්ඩු. හොදටම අසාධ්‍යයි. මම සිතින් මතුලූවෙමි. තද හිසරදයක් දැනෙන්නට වූ බැවින් මම වම් අතෙහි මහපටගිල්ල හා දබරගිල්ල ගෙන නළල දෙපැත්ත තදකරගනිමින් සිටියෙමි. මට මහත් අපහසුවක් සමග තදබල නිදිමතක් දැනෙන්නට විය.

 කන්ඩ දෙයක්. මහත්තයා පිං සිද්ධවෙයි කන්ඩ දෙයක්.

 මම සිහිනයකින් මෙන් අවදි වුනෙමි රෝහල් කොරිඩෝව දිගේ කරත්ත රෝද ශබ්ධය මැකෙමින් ඇදී යන හඩ ඇසෙන්නට විය.

 කෑම ඕන අය එන්න ප්ලේට් අරන් එන්න. රෝහල් සේවකයකු තවත් ඈතින් කෑ ගසන හඩ ඇසෙන්නට විය.

 මම හිස දෝතින් බදාගෙන තිස්හතරවැනි ඇද දෙස හිස ඔසවා බැලුවෙමි.

 අයියා අනේ මට කන්ඩ මොනවා හරි දෙන්ඩ. අයියා ඔහු ඇදෙහි දිගාවි කැ ගසන්නට විය.

 මම හිස බදාගෙන යළිත් කොට්ටයට බර විමි.

ඔහුගේ කෙදිරිලි සහගත ඉල්ලිම මට ඈතින් ඇසන්නට විය. ඔහු වරින් වර උස් පහත් හඩකින් කියවන්නට පටන් ගත්තේය.

 හුසේන්  යළිත් වරක් කෑම ඉල්ලීය. කොරිඩෝවේ කෑම බෙදන්නන් ඔහු ළඟට ආවේ නැත. හුසේන් කෑ ගැසුවේය. වෙව්ළන ගමනින් ඇදෙන් බැස්සේය. අනෙක් ඇදන් උඩ සිටි රෝගීන් දෙදෙනකු වහා බැස ඔහුට වාරු දුන්නේය. හුසේන් පියවර දහයක් ඇවිද ගොස් බිම වාඩිවිය. ඔහු එතැන දිග ඇදුනේය. මිනිසුන් කෑගසුවේය කවුරුත් පැමිණියේ නැත. වෛද්‍යවරයකු පැමිණ සාත්තු සේවකයකු කැදවීය. විනාඩි කිහිපයකින් සාත්තු සේවකයකු පැමිණ, තවත් පැමිණි සිටි දෙදෙනකු හා එක්ව ඇදට දැමීය. තවත් වෙලාවකින් වෛද්‍යවරියක් පැමිණ ඔක්සිජන් ලබාදුණි. නැවත හුසේන්ගේ ඇද වටා තිර රෙදි ඇද්දේය. තිර රෙදි නිරාවණය කළ පසු හුසේන් සුදු පැහැති කෝ්‍ශයක සැගව සිටියේය.  ඔහු ඉන් පසු කිසිම මොහොතක කෑම ඉල්ලුවේ නැත. දෑතින් මුව වසාගත් හුසේන්ගේ බිරිදගේ පා මුල දිවා ආහාරය රැගෙන ආ බදුන වැටී තිබුණි.



No comments:

Post a Comment

කතන්දර අකුරු

'මා දුටු ළමා දිනය'

ඊයේ හරි පුදුම දවසක් කියල හිතුනේ ඉස්සරහා ගෙදර පොඩි එකාගේ පාන්දර ඇහුණ කෑගැහිල්ලත් එක්ක. බොඩිමයි මිස්ටර් සමරසිංහගේ ගෙදරයි අතර දුර අඩි දො‍ළහ...