රචනාව ලියන්න පටන් ගත්ත වෙලේ ඉදන් සමදරාට වෙන් කරලා බෙදාගන්න බැරි තරමට අදහස් ගොඩක් ආවා.. ගොඩමාන්න මිස් රචනා තරගෙ ගැන කිව්ව වෙලේ ඉදන් ඒ ගැන හිතලම සමදරාට ලියාගන්න ඕන දේ මොකක්ද කියලා හිතාගන්න බැරිවුණා. මිස් කිව්වේ තමන්ගේ ජීවිතේට සමීපතම දේවල් ගැන ලියන්න කියලා. ටිකක් හිතට වදින විදිහේ මාතෘකාවක්. මිස් එහෙම කියලා කොහේදෝ රටක ළමයෙක් හිම ගැන ලියපු රචනාවක සිංහල පරිවර්තනයක් පන්තියටම ඇහෙන්න කියෙව්වා. සුදුම සුදු පාට හිම, හිම සෙල්ලම්, හිම කරත්ත පුත්තලම ඉස්කෝලේක තහඩුවහළෙක යට ඉදන් ගොඩමාන්න මිස් හරි අපූරුවට හිම ගැන කිව්වා පන්තියම නිස්සද්දව අහන් හිටියේ හිම ගැන.මේ දැන් හිම වැටෙනව වගේ මවාගෙන. මිස්ගේ අක්කා කෙනෙක් පිටරට ඉස්කෝලෙක උගන්නනවලු. මිස් කරන්නේ පන්තියේ පීරඩ් එකෙන් බාගයක්ම ඒ පුරාජේරු කියන එක. මිස් නරකමත් නෑ. මිස්ට ඕන උනේ ළමයින්ට මේ පේන පුංචි වපරිසරයට එහා ගිය ලෝකේ ගැන මේ අහිංසක දරුවන්ට කියල දෙන්න. මිස් නරකමත් නෑ. අලුතෙන් පත්වීමක් අරන් ආපු නිසාද මන්දා ළමයි එක්ක ටිකක් වැඩිපුර කුළුපගවෙලා තමයි මිස් කතා කරේ. හුගක් වුන් හිටියේ මිස්ගේ පිටරට වර්ණනා වලින් මත්වෙලා වගේ. මිස් ඒ රටට දෙතුන් පාරක් ගිහින් තියෙනවා කියලත් කියල තිබුණ නිසා පන්තියෙම උන් හිටියේ කට ඇරගෙන මිස්ගේ කතාව අහගෙන. සමදරා ඇරෙන්න අනික් හැමෝම.
සමදරා රචනාවට කරුණු එකතු කරා. මේ ගිනි කාස්ටක පුත්තම් කලපුවේ මොන හිමද? හිම නොවුනට හිම වගේ සුදුපාට ලුණූ නම් පුත්තලම් කලපුවේ මිනිස්සුන්ට ඕන තරම් සමීපව දකින්න තිබුණා. සමදරා ලුණුවලටත් වඩා ළගින් දැක්කේ දුක ප්‍රශ්න කරදර සමදරා වට ප්‍රස්ථාරයක් ඇදලා දුකයි ලුණූයි වර්ග කරලා වැඩි කෝකද කියල හොයන්න ගත්තා.මොන ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. දුක ලුණු රහ වෙලා වටේට පැතිරෙද්දි සමදරා වට ප්‍රස්ථාරේ මධ්‍ය ලක්ෂෙ මැද හිර වුණා. දුක ලුණු තරමට සුදු පාටට පැහැදිලිව තිබුණා. තාත්තා ගෙදරින් ගියායින් පස්සෙ අම්මා ලේවායේ වැඩට යන්න පටන් ගත්තා. සමදරාට මතක එදා ඉදන් ලුණු රහට දුක් විදපු හැටි. තාත්තා ගෙදරින් ගිය වෙලේ අම්මා පිළිකන්නේ පස් කණ්ඩිය උඩට වෙලා ඉකි ගගහා අඩන කොට සමදරා ගිහින් අම්මගේ මූන බදාගෙන ඉන්නකොට අම්මාගේ කදුළු ලුණු රහට සමදරාට දැණුනා. එදා ඉදන් සමදරා දුක මොන වගේද කියලා හිතන්න ගත්ත හැම වෙලේකම දුක දැූණනේ ලුණු රහට.
පොඩි කාලේ හරියට නොතේරුණත් දවසක් අම්මා අතින් මාළුපිණිලට ලුණු වැඩිවෙලා තාත්තා බත් ටිකත් එක්කම මැටි කොප්පේ පොලොවෙ ගැහුව දවසේ බයට කෑ ගහල අඩද්දි ලුණු රහ කියන්නේ දුක කියන එක සමදරාට දැණුනේ නැත්තේ ඇයි කියලා සමදරාම කල්පනා කරන්න ගත්තා. ඉස්කෝලේ ඇරිලා ඇවිත් සමදරා මල්ලිලාට කන්න දීලා ඇදුම් සේරම සෝදලා දාලා. අම්ම ලේවායෙන් අඩුවට ගේන ලුණු පැකට් ටිකත් ගෙද තියෙන පරණ කනප්පුවත් අරන් පාරට ගිහින් ලුණු ටික පිළිවෙලකට තියලා ලුණු විකුණන්න ගන්නවා.. හැන්දෑ වෙද්දි දාඩිය බේරී බේරී කනප්පුව උස්සන් ගෙදර එන ගමන් අඩන්න බැරි කමට යටිතොල හපාගද්දිත් සමදරාට තොල අගිස්සේ තිබ්බ දාඩිය බින්දු දෙක තුන දැනුනේ ලුණු රහට.
ගෙදර ගිහින් සමදරා ආයෙම කල්පනා කරලා.. මොනා ගැනද ලියන්නේ.. අර පේන මහ මුහුද හංගගෙන ඉන්න තරමටම සමදරා හංගෙන ඉන්න ලුණු රහට හුරු දුක ගැන ලියන් සමදරා තීරණය කරා. ඔව් වෙන මොනවා ලියන්නද හිතට එකගව ලියන්න පුළූවන් එකම කාරණාව ඒක. ලුණුයි දුකයි වෙන වෙනම බෙදා ගන්න බැරිතරමට සමදරා ලුණූ රහට දුක විදලා තිබ්බා. සමදරා හිතට ආපු අදහස් ටික සීරුවේ කොලේකට හැලුවේ හරි පරිස්සමට. අඩුත් නැති වැඩිත් නැති හරි පදමට අම්මා ලුණූ පොල් කට්ටෙන් කෑමට ලුණු දානවා වගේ හරි පරිස්සමට. හිම වගේ සුවුට පෙණුන ලුණුයි ජීවිතේ අදුරු පැත්තක ඉදන් පපුවට අනින දුකයි එකට එකතු කරලා සමදරා රචනාව ලිව්වා. ගොඩමාන්න මිස්ට හිතා ගන්න දෙයක් හිතාගන්න දීලා සමදරා එක හුස්මට ලියාගෙන ගියා. ලිව්වද නැත්තං ල්යවුණාද කියන එක සමදරාට ලොකු ප්‍රශ්ණයක් වුණත් ඊළග වාරේ ඉස්කෝලේ පටන් ගන්න කලින් ලියලා ඉවර කරන්න ඕන නිසා සමදරා රෑ මැදක් වෙනකල් පිටු ගාණකට දුක හැලුවා.
පහුවදා පෝයට අම්මා මල්ලිලා දෙන්නයි සමදරයි එක්ක අනුරාධපුරේ සිල් ගන්න ගියා. අම්මා හැම මාස පෝයකටම මෙහෙම ගිහින් සිල් ගන්න එක පුරුද්දක් කරගෙන තිබුණා. තාත්තා ඉද්දි නම් ගෙදර බුදු පහනවත් තියන්න බැරි තරමට ප්‍රශ්න තිබුණා. හැමදාම රණ්ඩු. හැමෝම හිටියේ ඊළග මොහොත මොන වගේ වෙයිද කියලා නිච්චි නැතිව. එක අතකට දේවල් එහෙම වුණ එක හොදයි කියලා සමදරාට නොහිතුණාමත් නෙවෙයි. ඒ කිව්වේ තාත්තා ගෙදරින් ගිය එක එක. ඒත් සමදරාට ඒක කා එක්කවත් කියාගන්න හයියක් තිබුනේ නෑ. මොකද අම්මා තාත්තව මතක් කරලා චීත්තේ අගිස්සෙන් අර ලුණු රහ කුදුළු හොරෙන්ම පිහිදන විත්තිය සමදරා දන්න නිසා.
කොහොම හරි සිල් මිදිලා හවස ගෙදර එන්න බස් එකට නැංගම තමයි සමදරාලා දැන ගත්තේ මුහුදු ගොඩගලපු විත්තිය. හතර දෙනාම ගල් ගැහිලා වගේ හිටියේ. මග දිගට ඇහුණේ වෙච්ච විනාසේ ගැන පුත්තලමට එද්දි මුහුද කිට්ටුව ගෙවල් බිත්ති පිටින් මුහුදට ගිහින් තිබුණ විදිහ දැක්කම අම්මගෙ ඇස්වලට කදුළු ඉණූවා. සමදරා ඒ දිහා බලලා හිතුවේ දුක කියන්නේ ලුණූ රහට. අර පේන්නේ නැද්ද ලේවායටම වෙලා තියන දේ. සමදරා තමන්ටම කියා ගත්තා. කොහොමත් සමදරා ගෙදර ගැන අදහස අතහැරලා හිටියේ. බස් එක නැවැත්තුවාට පස්සේ සමදරා අම්මගෙ අතින් අල්ලගෙන මල්ලිලා දෙන්නත් එක්ක ගෙදර තිබුණ දිහාවට ඇවිද්දා. ගෙදරක් කිව්වට අනුරාධපුරේ නටබුන් වගේ ගෙදරින් භාගයක් විතරයි ඉතුරුවෙලා තිබුණේ. සමදරා ඉබේටම බිම බැලුවේ කකුලේ පැටලුනේ මොකක්ද කියලා බලන්න. ඊයේ රෑ මැදියම වෙනකල් නිදිමරාගෙන ලියපු රචනාව මුහුදු වතුරට පෙගිලා තිබුණා.
ලියපු රචනාව වැරදි නෑ.. සමදරා පලවෙනි වතාවට තමන්ටම හිණෘවුනා.
පලි. කාලෙකට පස්සේ සමදරා තමන්ගේ ජීවිත කතාව පොතකට එකතු කරා. මිනිස්සු කදුළු පෙර පෙර පොත කියවලා තිබුණා. පොත අලෙවි වාර්තා බිද දමමින් විකිණුනා. මම වැරදි නෑ දුක කියන්නේ ලුණු තමයි. හොදට විකිනෙණවා. සමදරා දෙවෙනිවතාවටත් තමන්ටම හිණා වුනා
නිශාන්ත ෆර්නෑන්ඩු
No comments:
Post a Comment