මොන මගුලකටද මන්දා කවදාවත් යන්නෙ නැ කියලා හිතන් හිටපු මේ මිනිහව හම්බවෙන්නම මට යන්න සිද්ධවුණේ.. ජරා යක්කු ඌ වගේමයි උන්ගේ ජාතියම. සුදුවට ඇදගෙන කළු කෝට් බෑයකුත් දාගෙන අයිස් ගගහ ඉන්නවා. හැබැයි වචනයක් කතා කරන්නත් මාළු කූරියෝ දෙන්නෙක් දෙන්න ඕන. සේරමත් හරි අර කහපාට කට ඇරගෙන විරිත්තන විරිත්තිල්ල. මතක් වෙනකොටත් අප්පිරියයි. ඔය මාව වෙව්ලලා ගියා ඔහේලට කියන්න ඕන නෑනේ. තමන් අකමැතිම කෙනෙක්ව මුණු ගැහෙන්න යන්න සිද්ධ වුණාම දැනෙන හැගීම.
ෆ්රොගී ඔය ගෑනී ඒ ගෑනී නිසා තමයි මේ සේරම. මම රැවටුණා. රැවටුණා නෙවෙයි රවට්ට ගත්තා. පාඩුවේ ඉන්නේ නැතුව මමත් මොකට ඒ ගැනී එක්ක පැටලුණාද මන්දා. මතක් වෙනකෙටත් පුදුමයි. එදා ටිකක් පැහැදිලි දවසක්. මම ටිකක් අසනීප ගතිය මග ඇරිලා යන්න කියලා හිතාගෙන තමයි පාර්ක් එකේ තිබුණ පොකුණට ගියේ. මම හිටියේ නෙළුම් කොළයක් උඩ දිගාවෙලා. හැන්දෑවේ හිරු එළිය මගේ ඇගට වැටිලා හම ටිකක් කහ පාටට හුරුවෙලා තිබ්බේ. එක පාට පොකුණේ වතුර බුබුළු උඩට එන්න ගත්තා. උදව් අනේ උදව්. එක පාටට එයා කෑ ගහන්න ගත්තේ. ඕනම කොල්ලෙක් කරනවා වගේ මමත් ඉතින් දෙපාරක් නොහිතා ජබුං ගාලා පැන්නා පොකුණට පැනලා ගිහින් එයාගේ කොණ්ඩෙන් ඇදගෙන ඇවිත් මං වාඩි වෙලා උන්නු නෙළුම් කොලේ උඩින් තිබ්බා. බඩ හරිය ටිකක් මිරිකුවාම එයාගේ කටින් වතුර ටිකක් එළියට පැන්නා. මම හොදටම කලබල වෙලා හිටියේ. කොටින්ම පාසල් ප්රථමාධාර කමිටුවේ ඉද්දි කරපු විදිහට එයාට කෘතීම ස්වසනේ දෙනවද නැද්ද කියලා හිතාගන්න බැරිවුණා. කෝකටත් කියලා මම එයාගේ මූණට මූණ ළං කරා. එතකොටම තමයි එයා කොහ් කොහ් කියලා කැහැගෙන ඇස් ඇරියේ.
ෂා ලස්සන සුදු පාට ඇස්. කළු ඉංගිරියාව හරිම පැහැදිලව තිබ්බා. මං වශීවෙලා වගේ බලං හිටියේ. නිකං හින්දි ෆිල්මි එකක කොල්ලයි කෙල්ලයි මුණගැහුණාම වගේ මියුසික් එකක් ප්ලේ වෙන්න ගත්තා. අපි දෙන්නා නැටුවා හග්ගල පාර්ක් එකේ.. රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානේ අන්තිමට නෙළුම් පොකුණ හරියේ.. සින්දුවේ ලොකේෂන් මාරුවෙන සැරයක් ගානේ අපි දෙන්නා ඇදුම් කිහිපයක් මාරු කරා. එක පාරට එයා හයියෙන් හුස්ම ගන්න පටන් ගත්තා. මම හිතුවේ සින්දුවට නටලම මහන්සි නිසා කියලා. එක පාරට සීතල අතක් මගේ මූණ අල්ලනවා වගේ දැණුනා ඇස් ඇරියා. එයා මගේ ඇස් ඉස්සරහා. අනේ චුට්ටක් මගේ මූණ ළගින් අයින් වෙනවද මට අපහසුයි ඔයා ඔහොම ඉන්නකොට. එයා මුලින්ම කිවුවේ ඒ වචන ටික. මම රතු වෙලා රොස පාට වෙලා නිල් පාට වෙලා ඉන්ඩිගෝ පටට හැරෙන ගමන් එයාගෙන් අයින් වෙලා නෙළුම් කොලේ එයා ඉන්න හරියෙන් අනික් පැත්තේ හාන්සිවුණා. එයා ඒක ටිකක් සද්දෙට කියපු නිසාද මන්දා පාර්ක් එකේ ඉන්න අය. අපිදිහා හොදට හැරිලා බැලුවා.
"ඔයාගේ නම මොකක්ද එයා ආයෙම ඇහුවා"
"මගේ නම. මගේ නම මොකක්ද මට මගේ නම පවා අමතක වෙලා."
"ඔව් ඔයාගේ නම තමයි.. නම මොකක් වුණත් ගොඩක් පින් මාව බේරගත්තට" එයා මගේ අතක් හයියෙන් අල්ලගෙන කිව්වා.
"ආහ් ඒක සුළු දෙයක්.." ඔන්න මම ආයෙම අර මගේ මහන්තත්වේ ඔළුවට ගත්තා..
එයා ඇදන් හිටපු කොළ පාට ලෙගින් එක හොදටම තෙතයි. අත්දිග කොළපාට ටී ෂර්ට් එකත් ඇගටම ඇලිලා. දැං ඉතිං ඔහේලා වපර ඇහින් බලන්න ඕන නැ. මම එයා දිහා නරක හිතකින් බැලුවේ නෑ. ටිකක් සරාගී පෙනුමක් තිබ්බ තමයි මම නෑ කියන්නෑ. ඒත් එයා හිටපු තත්වෙත් එක්ක ඒ වගේ හැගීමක් ලොකුවට ඔළුවට ගන්න වුනේ නෑ.
එයා කොහොමද ගෙදර යන්නේ ඔය තෙත රෙදි එක්කම.
" යමු මගේ අපාර්ට්මන්ට් එකට එහෙට ගිහින් ඕක වේලුනාම යන්න පුළුවන්. "
මම එහෙම කියලා එයාත් එක්ක. නැගිටලා තාප්පේ පුංචි ගුලකින් රිංගලා වත්තට ආවා. ළං ගැට්ට උඩට නැගලා එයාට පනිට්ටුවට ලොඩවෙන්න මම උදව් කරා. "අනේ පරිස්සමින් ෆ්රොග් " එයා මට මුලින්ම ෆ්රොග් කිව්වේ ඒ වෙලාවේ. ආහ් මගේ අපාර්ට්මන්ට් එක තිබ්බේ ළිං පතුලේ ළිදේ බිත්ති වල හදපු පොඩි ගුල්වලත් කට්ටිය පදිංචිවෙලා හිටියා. මම එයා එක්ක අපාර්ට්මන්ට් එකේ දොරෙන් ඇතුළු වෙනවා ෆ්රොග්සන් මහත්තයි නෝනයි බලාගෙන හිටියේ මම දැක්කේ නෑ වගේ හිටියා. නාකි ජෝඩුව අනුන්ගේ ඕපාදූප හොයන්නම ඉපුදුන ගෙම්බෝ දෙන්නා. ඔව් ළිං මැඩියොන්ට ඉතිං මේකත් හෙට උදේට හොද නිවුස් එකක් වෙයි.
"එන්න ෆ්රොගී"
ඔන්න මම එයාට පළවෙනි වතාවට එයාට එහෙම කිව්වා. ඇත්තටම අපි අපි ගැන මොකුත්ම නොදැන. එහෙම කතා කරන්න පටන්ගත්ත එක ඒක ඉබේටම සිද්ධවුණ දෙයක්. ෆ්රොගී සේරටම කළිං කරේ එයාගේ ෆෝන් එක අරං ස්ටේටට් එකක් අප්ඩේට් කරපු එක. යූ ආර් ද ගාර්ඩියන් ඒන්ජල් ඔෆ් මයි ලයිෆ් ඊට පස්සේ හාර්ට් දෙකක් කිස් ඉමොජියක්. ෆීලිං තෑන්ක්ස් පුල් ඉන් ද වෙල්. ඔන් එහොම හැමදේම පටන් ගත්තේ. රෙදි වේලුණාම එයා ගියේ නෑ අපි දෙන්නා එකට ජිවත් වෙන්න ගත්තා. එයා උයන්වත් දැනගෙන හිටියේ නෑ. හැමදාම අපි පීසා ඔර්ඩර් කරා. කේ එෆ් සී ගියා. එයා මුණ ගැහැණට පස්සෙම මම ෆේස්බුක් ලොග් වුණෙත් නෑ. ඒක මාවර්ලස් ලවුස්ටොරියක්. බොළදයි කියලාද ඔහේලා හිතන්නේ. ඔව් ටිකක් විතර මම බොළදයි තමයි. ඒත් එහෙමයි කියලා මේ ආදරේ හෑල්ලුවෙන්න දුන්නේ නෑ. එයා මාව ගෙදරටම කෙතටු කරා. කඩේටවත් යන්න දුන්නේ නෑ. එයා කිව්වේ එයාගේ ජීවතේ බේරපු නිසා මුළු ජීවිත කාලෙම මාත් එක්ක ඉන්නවා මාව බලාගන්නවා කියලා. මම සොපාවක වැතිරිලා චිත්රපටි බලපු එකමයි කරේ.
මම මේ වෙද්දි. හොලිවුඩ් චිත්රපටි එක්දහස් එකසීයකුයි. බොලිවුඩ් චිත්රපටි තුන්දාහකුයි. කොලිවුඩ් චිත්රපටි දෙදාස් පන්සීයකුයි බලලා තිබුණා. මේ සේරම ඉවර වෙද්දි අවුරුදු හය හමාරකුත් සති දෙකක් ගෙවිලා. ඒ වෙනකොට අපේ පොඩි ෆ්රොගීනාට අවුරුදු හතරක්. මේ වෙද්දි මගේ බැංකු පොත්වල තිබ්බ සේරම සල්ලි ඉවර වෙලා. කන්න බොන්න පවා අමාරු කාලයක් ආවේ. එයා වචනයකින්වත් මට ඒ ගැන දෝශාරෝපණය කරපු නැති එක මට මහාලොකු දෙයක් වගේ පෙනුනේ. දවසක් එයා කිව්වා එයා මැදපෙරදිග රස්සාවකට යන්නම් කියලා. එයා මටත් හොරෙන් පාස්පොර්ට් වීසා පවා හදාගෙන ඉදලා. පවු අහිංසක ගෑනි. මං කරදරවෙනවට පොඩ්ඩක්වත් කැමති නෑ. එයා යන දවසට කලින්දා රෑ අපි අමාරුවෙන් වුණ.ත් අහල පහල අයට කෑමක් දෙන්න තීරනය කලා.
එදා ෆ්රොග්සන් ජෝඩුව අච්චාරු වගේකුයි සීනි සම්බල් වගේකුයි බෝතල් වලට දාලා ෆ්රොගීට දිලා බදාගෙන ඉම්බා. එයා බය වෙන්න එපා ෆ්රොගී අපි ෆ්රොග්වයි ෆ්රොගීනාවයි බලාගන්නම්. පරිස්සමට ගිහින් එන්න. ඒ දෙන්නම එහෙම කියද්දි හමට පුදුම ආදරයක් ඇතිවුණේ ෆ්රොගී ගැන එයා හැමෝම එක්ක හොදින් ඉදලා. වෙන එකක් තියා එයා නිසා ළිදේ හිටපු හැමෝම මට ෆ්රොග් කියලා කතා කරන්න පටන් අරන් තිබුණා. කොහොම හරි එයා ගියා. එදා ඉදන් පුදුම පාලුවකින් මම හිටියේ. දවසක් මම නිකමට මගේ ෆේස් බුක් අකවුන්ට් එකට ලොග්වුණා. මෙන්න එයාගෙන් මට මැසේජ් එකක්.
පීලීස් ෆ්රොග් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න ආයේ මට වදයක් වෙන්න එපා.
මොකක්. මේ මොන කුණුහබ්බක්ද මම එයාට රිප්ලයි කරන්න හැදුවේ ඒත් එයා මාව බ්ලොක් කරලා.
මම මගේ ෆේක් අකවුන්ට් එකට ලොග් වුණා. මෙන්න මේ ගැනී වෙන ගෙම්බෙක් එක්ක.
ෆ්රොග්ඩීන් ඔයා තමයි මගේ හීනේ හැබෑ කරේ. අන්තිමට අප්ඩේට් වෙච්ච පොස්ට් එකේ එහෙම තිබ්බා.
මම ටිකක් පහළට පහලට ගියා. දෙයියනේ මේ ගෑනී මාව හොදටම අන්දාලා. ඒ ගෑනි ඒ මිනිහා එක්ක අවුරුදු හය හමාරක ඉදලා සම්බන්ධයක් තිබිලා.
බස් එක දෙහිවල ගුවන් පාලම යට නැවැත්වුවා. මම 176 බස් එකක නැගලා සූ එකට ගියා. පෙන්ගුවින්ලා ඉන්නේ ටිකක් මැදට වෙන්න. එතන තමා හොදම ලෝයර්ස්ලා ඉන්නේ. මම මුලින්ම කරේ ලොයර් කාරයා ගාවට ගිහින් මාළු කූරියෝ දෙන්නා මේසේ උඩට අත ඇරපු එක. ඉක්මන්ට මගේ ඩොකියුමන්ට් එක දෙනවද. මගේ නම වෙනස් වෙලා ආවද.
ඔව් මිස්ට ෆ්රොග්. අර කැත කළු ලෝගුවක් පොරවන් හිටපු පෙන්ගුවින් කාරයා කිව්වම මට අසූහාරදාහට මල පැන්නා. දැන් නම වෙනස් කරා කිව්වා නේද. මම පැනලා උගේ බෙල්ලෙන් අල්ලගත්තා. කහපාට හොට මැද්දෙන් දිව එළියට පැනලා. මම ඌව බිමට අතඇරියා.
සමාවෙන්න සමාවෙන්න ඒ සෙරම අමතක කරන්න. මෙන්න ඔබතුමාගේ අලුත් නම මිස්ටර් ෆ්රොගොට් මහත්මයා. මිනිහා මගේ අතට ෆයිල් එක දීලා මෙසේ උඩ තිබ්බ වතුර වීදුරුව බීගෙන බීගෙන ගියා.
නිශාන්ත ෆර්නෑන්ඩූ
No comments:
Post a Comment