ඒ අර්තාපල් අස්නවනු නෙළන කාලයයි.. නිවාඩු දින්වල අපේ අර්තාපල් වගාව තිබූ හේනබැද්දේ වත්තට අපි සියල්ලෝම යන්නෙමු. ඒ මනරම් පරිසරයකින් යුත් පට්ටිපොළ කඳු යායේ මැද හරියයි. අම්මාත් තාත්තාත් අක්කලා දෙදෙනාත් සමඟ කන්ද වෙත යාමට මගේ අඩුම කුඩුම සියල්ලද බෑගයට ඔබා ගෙන ගමනේ මුලට තාත්තට පසුව ගමන් අරඹමි. කෑමට විස්කෝතු පෙට්ටියක්, කතාන්දර පොත් දෙක තුනක්, කුඩා සෙල්ලම් බස් රථයත් ඒ ගමන් මල්ලේ බඩු අතර වෙයි. කුඹුරු යාය මැදින් ඇවිදින යන අපට කන්ද නැඟීම ආරම්භ කරන මුල හරියේදී ආරී මාමාගේ තවලම හමුවෙයි. ආරි මාමා පවුලේ කාගෙත් හිතවතාය. තවලම දකින විටම තාත්තාගේ පසු පස සැඟවෙන මම දිග අං සහිත ඒ විසාල ගවයන් රැළ පසුවන තෙක් සැඟවී සිටිමි. කන්ද මැද හරියේදී කළු ගල මත වාඩිවෙන මම බිස්කට් කිහිපයක් කා වතුර බී විඩාබරව එහි වැතිරෙමි. ඉන්පසු කන්ද තෙක් ගමන තාත්තාගේ කර මතිනි. තාත්තා කුඩා බෑගයේ බරත් මගේ බරත් ගෙන ආඩම්බර බැල්මකින් ඇවිද යයි. මම තාත්තාගේ ගෙල වැරෙන් බදාගෙන හිස සිඹිමි. කූරූ සහිත රැවුල් ගස් අතින් අල්ලා කිති කවමි. තාත්තා හොහ් හොහ් ගා හිනාවෙයි.
කන්දට ගිය පසු මා අට්ටාලයෙහි හිදුවා සියල්ලෝ වැඩෙහි නිරත වෙති අම්මා වත්තෙහි ඇවිද හතුකඩා දිවා ආහරය සැකසීමට සූදානම් වෙයි. දිවා ආහාරයට අට්ටාලයට එන තාත්තා "ආ යාළුවා දැං යං වැඩට" කියමින් මාද ඔසවාගෙන අර්තාපල් ගැලවීමට නැවත යයි.
කඳුකරයේ සටහන්
No comments:
Post a Comment